දියවන්නා වැව් තාවුල අද සිරියාවෙන් පිරිලා. ගමේ ලියන අප්පු වන මම,අමුඩයත් ගසාගෙන, පන්හිඳත් කන පිට ගසාගෙන ඔන්න තරගාවලිය පටන් ගන්නයි හදන්නේ. කට්ටිය ම හූවක් දෙන්න රටේම ජනතාවට…
පක්ෂ-විපක්ෂ මන්ත්‍රීවරු සරම් කොට කරලා ඇඳගෙන, සපත්තු ගලවලා ලෑස්ති පිට ඉන්නවා. තරගය මෙව්වි කරන්නයි හදන්නේ…
යළිත් මැදිරියේ සිට දියවන්නා වැව් තාවුල්ලට සජීවීව…
තරගයේ උණුසුම් අවස්ථා මෙන්න!
හොඳම බොරුව සහ හොඳම සිනාව:
මේක නම් තියුණු තරගයක්! එක මන්ත්‍රීවරයෙක් “මම නම් කිසිම දවසක පැත්ත මාරු කරන්නේ නැහැ” කියපු ගමන්, අනිත් පැත්තේ මන්ත්‍රීවරයා “මම මැතිසබයට එන්නේ රටට ආදරේට විතරයි” කියලා ලස්සන හිනාවක් දැම්මා. දෙන්නටම රන් පදක්කම් දෙන්න වෙයි වගේ!
ජනතාවට “ඇන්දවීමේ” තරගය:
විකට ඇඳුම් තරගයට වඩා මේක ජනප්‍රියයි. මන්ත්‍රීවරු පිරිසක් එකතු වෙලා අහිංසක මිනිස්සුන්ට “සහන මල්ලක්” පෙන්නලා, ඒක ඇතුළේ තිබ්බ බදු බිල්පත් ටික බෙදනකොට මිනිස්සුන්ට ඇඳුම් නෙවෙයි, ඇඳගෙන හිටපු රෙදිත් නැති වෙන තරමටම ඇන්දෙව්වා.
ගල් අගුරු කුමරා සහ සැඟවුණු මුත්තා:
ගල් අගුරු කුමරා තේරීමේ තරගයට ආපු හැමෝම කළු පැහැති දුමාරයකින් වැහිලා හිටිය නිසා හොයාගන්න බැරි වුණා. ඒ අතරේ “සැඟවුණු මුත්තා” හොයන්න ගිය අයට හම්බුණේ අවුරුදු 70ක් තිස්සේ දේශපාලනයේ ඉන්න මී මුත්තෙක්වමයි!
දිය යටින් ගින්දර පන්දම් රැගෙන යාම:
මේක නම් හරිම අපූරුයි. දියවන්නා දිය යටින් පක්ෂ හුවමාරු ගිවිසුම් (පන්දම්) අරන් යනවා මම හොඳටම දැක්කා. උඩින් බලද්දී නිසලයි, යටින් ඔක්කොම ගිනි ගන්නවා!
2048 ජනාධිපති තේරීමේ තරගය:
මේකට තරග කරන්න හිටපු හැමෝම තරගය අතරතුරම නිදාගත්තා. මොකද 2048 වෙද්දී පත්වන කෙනා දැන් ඉන්න අයගේ මුණුබුරෙක් වෙන්න ඕන නිසා, සීයා ලා ටික දැන්ම “මහන්සියි” කියලා ඇල වුණා.
අලියාගේ නැට්ටේ එල්ලී සිරිකොතට යාම:
මන්ත්‍රීවරු හතර පස් දෙනෙක් අලියාගේ නැට්ටේ එල්ලුණා විතරයි, අලියා කෙළින්ම දියවන්නාවට පැන්නා. දැන් සිරිකොතට යන්න වෙන්නේ පීනලා තමයි!
මාලිමාව සෙවීමේ තරගය:
කට්ටියක් එකතු වෙලා උතුර හොයන්න මාලිමාව බැලුවත්, මාලිමාව වටේ කැරකෙනවා මිසක් එක පැත්තක් පෙන්නන්නේ නැහැ කියලා චෝදනා කරනවා.
අවසාන ජයග්‍රහණය
අවසානයේ දිලිත් ජයවීරගේ පදක්කම දිනාගන්න කට්ටිය පොරකද්දී, ලියන අප්පු වන මම දැක්කා හැමෝම එකතු වෙලා “ආණ්ඩුවට හා විපක්ෂයට හාදු දීමේ තරගය” ඉතාම උනන්දුවෙන් කරනවා. කැමරා ඉස්සරහ ගහගත්තට, වැව් තාවුලේදී නම් හැමෝම එකම බත් පත කනවා!
ගමේ ලියන අප්පුගේ අවසාන සටහන:
“රටේ මිනිස්සුන්ට බක් මහ උළෙල අවුරුද්දට එක පාරයි. හැබැයි දියවන්නාවේ මහත්වරුන්ට නම් අවුරුද්දේ දවස් 365ම බක් මහ උළෙලක් තමයි!” සිනා සපිරි දවසක් වේවා!
ආදරෙයි…
අපගේ චැනලය සමඟ සිටින ලක්ෂ සංඛ්‍යාත ඔයාලට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!
(මේ අකාරයට ඔබේ ගමේ නගරයේ අවුරුදු උත්සවය රසට, මිහිරට රසවිතව සුන්දරව කරන්න අපිට හැකියි! ලංකාවේ පළමු වරට වෙනස් විදියටම අවුරුදු නිවේදන කටයුතු …හා ද කතා කරන්න 077 2503491 )

