කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ මගී පහසුකම් වැඩිදියුණු කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

මගී ජනතාවට විධිමත් හා කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුළු මුදල රුපියල් මිලියන 2,162 කි. මෙයින් රුපියල් මිලියන 1,500ක් ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර මත හිමිවන අතර ඉතිරි රුපියල් මිලියන 662ක මුදල ශ්‍රී ලංකා රජය විසින් වැය කරනු ලබයි.

නවාතැන් පහසුකම්, විවේකාගාර, ප්‍රමිතිගත භෝජනාගාර, තොරතුරු මධ්‍යස්ථානයක් සහ ඖෂධහලක් මෙයට ඇතුළත් වේ.

පවතින පැරණි ගුවන් පාලම් වෙනුවට සියලුම වේදිකාවලට ප්‍රවේශ විය හැකි නව පාලම් පද්ධතියක් ඉදිවේ. මෙය කොම්පඤ්ඤවීදිය, ඩී.ආර්. විජේවර්ධන මාවත සහ බැස්ටියන් මාවත දෙසට සම්බන්ධ කෙරේ.

මගී පිවිසුම් සහ පිටවීම් සඳහා E-Gate පහසුකම හඳුන්වා දීමට නියමිතය.

ත්‍රිරෝද රථ, කුලී රථ සහ පෞද්ගලික වාහන සඳහා ආරක්ෂිත රථ අංගනයක් ද ඉදි කෙරේ.

මාස 15ක් ඇතුළත මෙම ඉදිකිරීම් නිම කිරීමට සැලසුම් කර ඇති අතර, 2027 වසරේදී රුපියල් මිලියන 800ක වියදමින් ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීමට ද අපේක්ෂිතය.

මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක, නියෝජ්‍ය කථානායක රිස්වි සාලි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply