කොළඹ: රජය විසින් මේ වන විට ගොවීන්ගෙන් වී මෙට්‍රික් ටොන් 61,449ක් මිලදී ගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි. අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු කියා සිටියේ මෙම වී තොගය මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 7,383ක් වැය කර ඇති බවයි.
මිලදී ගත් වී ප්‍රමාණයන් අතර ප්‍රමුඛව පවතින්නේ රතු නාඩු (මෙට්‍රික් ටොන් 43,836) සහ සුදු නාඩු (මෙට්‍රික් ටොන් 17,690) වර්ගයි. මීට අමතරව සම්බා සහ කීරි සම්බා තොගද රජය සතු කරගෙන තිබේ.
පොහොර බෙදාහැරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා, රජයේ සහ පෞද්ගලික පොහොර සමාගම් 18ක් එක්ව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා වගා බිම් ප්‍රමාණයට අනුකූලව ගොවීන්ට අවශ්‍ය පොහොර නිකුත් කරන බවද වැඩිදුරටත් අවධාරණය කළේය.

