මෙරට විදුලි පාරිභෝගිකයා දැඩි පීඩනයකට පත් කරමින් සිදුකළ විදුලි ගාස්තු ඉහළ දැමීම පිටුපස දැවැන්ත දූෂණ වංචාවක් පවතින බවට විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය බරපතළ චෝදනාවක් එල්ල කරයි. අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී එහි ජාතික ලේකම් සංජීව ධම්මික මහතා අවධාරණය කළේ, රජය විසින් ලබාදෙන බව කී සහන හුදු මිත්‍යාවක් බවත්, බාල ගල් අඟුරු ගනුදෙනු හරහා සිදුවන නාස්තියේ බර ජනතාව පිට පටවා ඇති බවත්ය.

පොරොන්දු කඩකිරීමේ ‘විදුලි සැර’ මෙන්න යැයි ද හෙතෙම කීය.

විදුලි බිල 33% කින් අඩු කරන බවට රජය සහ වගකිවයුතු බලධාරීන් (වසන්ත සමරසිංහ වැනි ක්‍රියාකාරීන් මීට පෙර පෙන්වා දුන් පරිදි) මීට පෙර පොරොන්දු වුවද, දැන් සිදුවෙමින් පවතින්නේ එහි අනෙක් පැත්ත බව සංගමය පෙන්වා දෙයි.

සහන වෙනුවට දිගින් දිගටම ගාස්තු ඉහළ දැමීම.

ජල ගාස්තු සංශෝධනය ද මෙයට සමගාමීව සිදුවීමෙන් ජන ජීවිතය තවදුරටත් අගාධයට වැටී ඇත.

රජය විසින් යම් මූල්‍ය බරක් දරාගන්නා බව පැවසුවද, එය අවසානයේ වක්‍ර බදු හෝ වෙනත් ක්‍රම හරහා ජනතාවගෙන්ම අයකර ගන්නා බව සංජීව ධම්මික මහතා පෙන්වා දුන්නේය. “ආණ්ඩුව වැඩි බරක් රජයට දැම්මා කිව්වට, ඒ බර කැරකෙන්නේ අපේ කරටමයි,” යැයි ඔහු පවසයි.

ක්ෂේත්‍රයේ පවතින දූෂණය පිළිබඳව සංජීව ධම්මික මහතා සිය විරෝධය පළ කළේ සංවේදී කවි පද කිහිපයක් ද ඉදිරිපත් කරමිනි.

“බාල ගල් අඟුරු නැව් පිටින් ගිල ගිල

ගැව්වා ගේම සපුරා ගමින් මනදොල

යහතින් සිටිති තාමත් රජයෙ හොර රැල

වැඩි කර ලයිට් බිල මිරිකුවා අපෙ ගෙල”

මෙම අසාධාරණ විදුලි බිලට එරෙහිව තවදුරටත් නිහඬව නොසිටින බවත්, විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් සහ සිවිල් සංවිධාන ඒකාබද්ධ කරගනිමින් දීපව්‍යාප්ත දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ කරන බවත් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය නිවේදනය කළේ ය.

Share.
Leave A Reply