ලෝක ක්ෂය රෝග දිනයට සමගාමීව, 2035 වසර වන විට ශ්‍රී ලංකාවෙන් ක්ෂය රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ ජාතික ප්‍රයත්නය ශක්තිමත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත. මෙරට ක්ෂය රෝග මරණ 95% කින් අවම කිරීමේ ඉලක්කය කරා යන මෙම ගමනේදී, තවමත් සමාජය තුළ හඳුනා නොගත් ක්ෂය රෝගීන් 5,000ක් පමණ සිටින බව අනාවරණය වී තිබේ.

ඔව්, අපට ක්ෂය රෝගය තුරන් කළ හැකි යි ” (Yes! We Can End TB) යන මෙවර ලෝක තේමාව යටතේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ මඟපෙන්වීමෙන් විශේෂ වැඩසටහනක් අද දින පැවැත්වුණි. එහිදී ක්ෂය රෝග මර්දන ජාතික වැඩසටහනේ (NPTCCD) අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මහත්මිය විසින්, 2035 ඉලක්කය සපුරා ගැනීමේ කැපවීම සංකේතවත් කරමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි සහ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් වෙත විශේෂ සමරු පළඳනාවක් පැළඳවීම සිදු කරන ලදී.

ක්ෂය රෝග නවතම සංඛ්‍යාලේඛනවලට අනුව මෙරට තත්ත්වය මෙසේය:

වාර්ෂික ඉලක්කය: ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ශ්‍රී ලංකාව තුළ වසරකට රෝගීන් 14,000ක් පමණ හඳුනාගත යුතුව ඇත.

වත්මන් තත්ත්වය: දැනට වාර්තා වන්නේ වසරකට රෝගීන් 8,500 – 9,500 අතර ප්‍රමාණයකි.

අතුරුදන් රෝගීන්: ඒ අනුව, වසරකට රෝගීන් 5,000ක් පමණ කිසිදු හඳුනාගැනීමකට ලක් නොවී සමාජය තුළ සැරිසරමින් සිටිති.

2025 වාර්තා: පසුගිය වසරේ (2025) නව රෝගීන් 8,125ක් වාර්තා වී ඇති අතර ඉන් 5,177ක් පිරිමි රෝගීන්ය.

ළමා ක්ෂය රෝග අවදානම: මුළු රෝගීන්ගෙන් 5% – 15% ක් ළමුන් විය යුතු වුවත්, පසුගිය වසරේ වාර්තා වී ඇත්තේ 3% ක් (රෝගීන් 231 ක්) පමණි. මෙයින් පෙනී යන්නේ ළමුන් අතර රෝගය හඳුනාගැනීමේ දැඩි අඩුවක් පවතින බවයි.

බැක්ටීරියාවක් මගින් ව්‍යාප්ත වන රෝග අතරින් ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් (වාර්ෂිකව මිලියන 1.2ක්) සිදුවන්නේ ක්ෂය රෝගයෙනි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව 2015 වසරට සාපේක්ෂව පහත ඉලක්ක සපුරා ගැනීමට කැප වී සිටී:

රෝගීන් වාර්තා වීම 90% කින් අඩු කිරීම.

මරණ සංඛ්‍යාව 95% කින් අඩු කිරීම.

රෝගීන්ට වැයවන පිරිවැය දරාගත නොහැකි මට්ටමේ සිටින පිරිස ශුන්‍ය (0%) කිරීම.

දිවයින පුරා පරීක්ෂණ සහ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය. විශේෂයෙන්ම NIID (IDH), NIMH සහ මධ්‍යම ළය චිකිත්සාගාරය හරහා අධි අවදානම් කණ්ඩායම් පරීක්ෂාවට ලක් කිරීම අඛණ්ඩව සිදු කෙරේ.

Share.
Leave A Reply