මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හමුවේ මෙරට බලශක්ති සැපයුම සහ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා රජය සතු විශේෂ උපායමාර්ගික සැලසුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනාවරණය කළේය.

මෙම අර්බුදකාරී අවස්ථාවේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් මධ්‍යස්ථභාවය ආරක්ෂා කරමින් කටයුතු කරන බවත්, ඕනෑම බාහිර කම්පනයකට ඔරොත්තු දෙන ශක්තිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කර ඇති බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

බලශක්ති අර්බුදය ජය ගැනීමට ගත් පියවර!

පවතින සැපයුම් ජාලයේ බිඳ වැටීම් කළමනාකරණය සඳහා රජය පහත දත්ත මත පදනම් වූ තීන්දු ගෙන ඇත:

ඉන්ධන සැපයුම: බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000 බැගින් වූ නෞකා දෙකක් ප්‍රමාද වීම හේතුවෙන් ඇති වූ හිඟය පියවීමට වහාම ක්‍රියාත්මක වන පරිදි නව ටෙන්ඩර් ප්‍රදානය කර ඇත. මීට අමතරව 18 දිනයේදී තවත් ඩීසල් ටෙන්ඩරයක් ප්‍රදානය කිරීමට නියමිතයි.

ගෑස් සැපයුම: මාර්තු මාසය සඳහා අවශ්‍ය මෙට්‍රික් ටොන් 33,000ක ඉලක්කය ඉක්මවා යමින් මෙට්‍රික් ටොන් 38,000ක් දැනටමත් ඇනවුම් කර මෙරටට ගෙන්වා ඇත. තවත් මෙට්‍රික් ටොන් 33,000ක නෞකාවක් ඉදිරි දින දෙක තුළ මෙරටට ළඟා වීමට නියමිතයි.

ගල්අඟුරු: අවශ්‍ය නෞකා 23න් නෞකා 13ක් දැනටමත් ළඟා වී ඇති අතර, ඉතිරි හිඟය පියවීමට නෞකා 5ක් සඳහා කැබිනට් අනුමැතිය ඇතිව විශ්වාසවන්ත සැපයුම්කරුවෙකු තෝරාගෙන ඇත.

ආරක්ෂිත තොග: සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සඳහා බලශක්ති සැපයුම අවසන් වන දින සිට තවත් සති 06කට ප්‍රමාණවත් ආරක්ෂිත තොග (Buffer Stocks) පවත්වාගෙන යාමට තීරණය කර ඇත.

ආර්ථික ස්ථාවරත්වය සහ රාජ්‍ය සේවය

ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ පසුගිය වසරේ ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ ඩොලර් බිලියන 4.1ක හානිය සාර්ථකව කළමනාකරණය කිරීමට රජයට හැකි වූ බවයි.

මහබැංකු මැදිහත්වීම: ජනවාරි සහ පෙබරවාරි මාස දෙක තුළ පමණක් මහබැංකුව වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 700ක් මිලදී ගෙන ඇති අතර, එය මෑත ඉතිහාසයේ වාර්තාගත මිලදී ගැනීමකි.

රාජ්‍ය අංශයේ ඉතිරි කිරීම්: රාජ්‍ය අංශයේ ඉන්ධන පරිභෝජනය 25%කින් අඩු කර ගැනීම සඳහා බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

පෞද්ගලික අංශයේ දායකත්වය: අපනයනකරුවන් 30 දෙනෙකුට වැඩි පිරිසක් ඩොලර් ගෙවා පෞද්ගලිකව ඉන්ධන ආනයනය කර බෙදා හැරීමට ලියාපදිංචි වී ඇති අතර, (මාර්තු 18) සිට එම කටයුතු ආරම්භ වේ.

ජනතා සහන සැලසීම

මේ වන විටත් ජනතාව මිලියන පහකට (5Mn) ආසන්න ප්‍රමාණයක් QR පද්ධතිය සමඟ ලියාපදිංචි වී ඇති අතර, කෘෂිකාර්මික හා ධීවර ක්ෂේත්‍ර සඳහා විශේෂ ඉන්ධන සහන ලබා දීමට පියවර ගෙන ඇත.

අර්බුදයෙන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සහ පොලී රහිත ණය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක්ද පත් කර තිබේ.

අවසාන වශයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, රජය සතු ශක්තිමත් යාන්ත්‍රණය සහ ජනතා සහයෝගය මත මෙම බාහිර අභියෝගය සාර්ථකව ජයගෙන රටේ ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.

Share.
Leave A Reply