“තිරසර දියවර” ජාතික වැඩසටහන ඇරඹේ: මොණරාගල දිස්ත්‍රික්කයේ ජල උල්පත් පරීක්ෂාවට ජංගම රසායනාගාර ක්ෂේත්‍රයට
ග්‍රාමීය ජනතාව පරිභෝජනය කරන ජලයේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා ජල සම්පත් මණ්ඩලයේ ජංගම රසායනාගාර පහසුකම් මෙම ස්ථාන වෙත යොමු කර තිබේ. එහිදී ජලයේ pH අගය, විද්‍යුත් සන්නායකතාව (EC), ෆ්ලෝරයිඩ්, නයිට්රේට්, යකඩ ඇතුළු භෞතික හා රසායනික පරාමිතීන් රැසක් පරීක්ෂාවට ලක් කෙරේ. මීට අමතරව, තෝරාගත් ස්ථාන 50කදී ජලයේ බැක්ටීරියා දූෂණය හඳුනාගැනීම සඳහා වන ක්ෂුද්‍ර ජීවී විශ්ලේෂණයන්ද (Microbiological analysis) සිදු කෙරේ.
මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රජා ජල ව්‍යාපෘති 163ක ජල මූලාශ්‍ර සහ ග්‍රාමීය පාසල් 40ක ජල සාම්පල මෙහිදී විශේෂ අධ්‍යනයකට ලක් කෙරේ. ජලය දූෂණය වී ඇති ආකාරය පිළිබඳව ජනතාවට ප්‍රායෝගික අවබෝධයක් ලබා දීම හරහා ජල මූලාශ්‍ර සංරක්ෂණයට ප්‍රජාව සෘජුව දායක කරගැනීම මෙහි ප්‍රධාන අරමුණක් බව බලධාරීහු පවසති.
නව රජයේ පරිසර ප්‍රතිපත්තියට අනුව, වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි වසර 62ක් පැරණි ජාතික ජල සම්පත් මණ්ඩල පනත සම්පූර්ණයෙන්ම සංශෝධනය කිරීමටද ඉදිරියේදී කටයුතු කරන බව මෙම වැඩසටහන අතරතුරදී අනාවරණය විය.
මෙම වැඩපිළිවෙළ හරහා ජල මූලාශ්‍ර සිතියම්ගත කිරීම සහ ජලයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම මගින් ප්‍රජා සෞඛ්‍යය ආරක්ෂා කිරීමට රජය අපේක්ෂා කරයි.

