මෙරට ජනතාවගේ ජීවිත බරපතළ අවදානමකට ලක් කරමින්, කල් ඉකුත් වූ ජල භීතිකා එන්නත් රෝගීන්ට ලබාදීමට අවසර දීම සම්බන්ධයෙන් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය රජයට දැඩි චෝදනා එල්ල කළේ ය.
අද (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කළේ ඖෂධ නියාමන අධිකාරියේ වගකිවයුතු නිලධාරීන්ම අධිකරණය ඉදිරියේ මේ බව පිළිගැනීම අතිශය භයානක තත්ත්වයක් බවයි.
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ පාලන කාලයෙන් පසු පත් වූ ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්යක්ෂවරයා, කල් ඉකුත් වූ ජල භීතිකා එන්නත් භාවිතයට අවසර දුන් බවට මහාධිකරණය ඉදිරියේ සාක්ෂි දී ඇති බවද ඔහු කීය.
ජල භීතිකාව වැනි මාරාන්තික රෝගයකදී, ප්‍රමිතියෙන් තොර එන්නත් ලබාදීම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බවත්, රෝගියෙකු මිය ගියහොත් එය රෝගය නිසාද නැතිනම් එන්නතේ දෝෂයක් නිසාද යන්න ගැටලු සහගත බවත් හෙතෙම කීය.
ඖෂධවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට රසායනාගාරයක් පවා නොමැති පසුබිමක, මෙවැනි වගකීම් විරහිත තීන්දු ගැනීම මගින් නිදහස් සෞඛ්‍ය සේවය කෙරෙහි පවතින ජනතා විශ්වාසය මුළුමනින්ම කඩ වී ඇති බව ඔහු කීය.
දූෂිත නිලධාරීන් සහ අඩපණ වූ විමර්ශන පද්ධතියක් පවතින තාක් සෞඛ්‍ය ක්ෂේත්රයේ සැබෑ වෙනසක් කළ නොහැකි බව ඔහු අවධාරණය කළේය.
“ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන සෞඛ්‍ය සේවය තුළ රෝගීන්ට ‘විෂ’ එන්නත් කිරීමේ වගකීම සෞඛ්‍ය ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වහාම භාරගත යුතුයි.” යැයි හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

