රාජ්‍ය සේවයට නිවාඩු දීම සහ QR ක්‍රමය යළිත් දැඩි වෙයි!
පවතින අර්බුදය හමුවේ රටේ ආර්ථිකයට එල්ල වන බලපෑම අවම කර ගැනීමට සියලු දෙනාගේ කැපවීම අවශ්‍යයි. විශේෂයෙන්ම ගොවි ජනතාව සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කර ගැනීමට රජය සහනාධාර ක්‍රමවේදයක් පවා සලකා බලමින් සිටිනවා.” – ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
මැද පෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ මෙරට බලශක්ති සැපයුමට එල්ල වී ඇති දැඩි අභියෝග සැලකිල්ලට ගනිමින්, අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රජය විශේෂ වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණාත්මක පියවරයන් පිළිබඳව අවධානය යොමු වී තිබේ.
රාජ්‍ය සේවයට සතියකට දිනක නිවාඩුවක්?
බලශක්ති පරිභෝජනය සීමා කිරීමේ අරමුණින් රාජ්‍ය සේවකයන් සඳහා සතියකට එක් දිනක නිවාඩුවක් ලබා දීම හෝ නිවසේ සිට රාජකාරි කිරීමේ (Work from Home) ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.
ඒ අනුව, ආයතන ප්‍රධානීන්ගේ තීරණය මත නිලධාරීන් සේවයට කැඳවීමේ බලය පැවරීමටත්, රාජ්‍ය උත්සව තාවකාලිකව නතර කිරීමටත් යෝජනා වී ඇත.
ඉන්ධන සඳහා QR ක්‍රමය වඩාත් විධිමත් කෙරේ!
දෛනික ඉන්ධන පරිභෝජනය කළමනාකරණය කිරීම සඳහා QR ක්‍රමය වඩාත් විධිමත් ලෙස භාවිතා කිරීමට රජය තීරණය කර ඇත. මේ සඳහා අවශ්‍ය සියලු දත්ත ඩිජිටල් කටයුතු අමාත්‍යාංශය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එක්ව කඩිනමින් යාවත්කාලීන කිරීමට නියමිතය.
ප්‍රධාන ක්ෂේත්‍ර සඳහා මුදාහැරිය යුතු ඉන්ධන ප්‍රමාණය තීරණය කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටුවේ වාර්තාව අද දිනය තුළම ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව තිබේ.
අත්‍යවශ්‍ය සේවා සඳහා විශේෂ සැලසුම්
රටේ ආර්ථිකයට සෘජුව බලපාන ප්‍රධාන ක්ෂේත්‍ර 9ක් කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු වී ඇත:
අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවා
සංචාරක සහ කර්මාන්ත
කෘෂිකර්ම සහ ධීවර
වරාය, ගුවන්තොටුපොළ සහ ඩිජිටල් සේවා
මෙම ක්ෂේත්රයන්හි කටයුතු අවම බලශක්ති පරිභෝජනයක් යටතේ අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය විකල්ප මාර්ග පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇත.
පවතින තත්ත්වය පිළිබඳව පෞද්ගලික අංශය දැනුවත් කිරීමටත්, ඉදිරි දින කිහිපය තුළ බලශක්ති කළමනාකරණය සඳහා වඩාත් දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටත් රජය සූදානම් වේ.

