මැදපෙරදිග යුද තත්ත්වය ගැන රජයේ දැඩි ස්ථාවරය – ඉන්ධන, ආර්ථිකය සහ ජන ජීවිතය සුරැකීමට විශේෂ සැලැස්මක් ජනපති කියයි!
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය සම්බන්ධයෙන් රජයේ නිල ස්ථාවරය ප්‍රකාශ කරමින් අනුර කුමාර දිසානායක මහතා අද (03) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ය.
යුද්ධය කිසිදු ජාතියකට හෝ ජන කණ්ඩායමකට හිතකර නොවන බවත්, සියලු පාර්ශවයන් ඉක්මනින්ම සාමකාමී විසඳුමක් සඳහා කැපවිය යුතු බවත්ය.
“ඕනෑම යුද ගැටුමක් විනාශයම නිර්මාණය කරයි. නවීන අවි තාක්ෂණය සමඟ එය ලෝකයටම අතිශය භයානක ප්‍රතිවිපාක ඇති කළ හැකියි,” යැයි ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ලංකාවට ඇති විය හැකි බලපෑම්!
මෙම යුද තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට සෘජුව හා අසෘජුව බලපෑම් එල්ල විය හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, විශේෂයෙන් පහත කරුණු අවධාරණය කළේය:
තෙල් හා ගෑස් සැපයුමට බාධා
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඇති විය හැකි අවදානම්
සංචාරක කර්මාන්තයට හා විදෙස් ප්‍රේෂණවලට බලපෑම්
නාවික හා ගුවන් සේවා ක්ෂේත්‍රයන්ට ගැටලු
එමෙන්ම, රටක් ලෙස මෙම අභියෝගයට මුහුණ දීමට කෙටි කාලීන හා දිගු කාලීන සැලසුම් සකස් කරමින් සිටින බවද ඔහු පැවසීය.
ඉන්ධන සංචිත පිළිබඳ පැහැදිලි කිරීම
රටේ ඉන්ධන තත්ත්වය සම්බන්ධයෙන් ජනතාවට පැහැදිලි කිරීමක් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ:
ඩීසල් දින 33කට ප්‍රමාණවත් සංචිත පවතින බව
පෙට්‍රල් දින 27කට ප්‍රමාණවත් බව
7 හෝ 8 වන දින මෙට්‍රික් ටොන් 35,000ක නව පෙට්‍රල් නෞකාවක් පැමිණීමට නියමිත බව
සමස්තයෙන් දින 40කට ආසන්න පෙට්‍රල් සංචිත රඳවාගෙන ඇති බව
එහෙත් ගබඩා ධාරිතාව සීමිත බැවින්, නැව් ගෙන්වීම සිදු කරන්නේ ගබඩා හිස්වන ප්‍රමාණයට අනුව බවද ඔහු සඳහන් කළේය. “අපට ආරක්ෂිත වශයෙන් වෙනම සංචිතයක් තබා ගැනීමට හැකියාවක් නොතිබුණා,” යැයි ද ජනාධිපතිවරයා පැවසීය.
එකමුතුවෙන් අර්බුදයට මුහුණ දීම
“අර්බුදයක විසඳුම තනි පුද්ගලයෙකු අතේ නෑ. රජය, පාර්ලිමේන්තුව සහ ජනතාව එක අරමුණක් යටතේ ක්‍රියා කළ යුතුයි,” යැයි ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය වත්මන් තත්ත්වය පිළිබඳ සමාලෝචන වාර්තා සකස් කරමින් සිටින අතර, ජන ජීවිතයට බලපෑම් අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන බවද රජය ප්‍රකාශ කළේය.
සමස්තයෙන්ම, රජය මෙම තත්ත්වය නිරීක්ෂණය කරමින් ආර්ථික ස්ථාවරත්වය සහ ජන ජීවිතය ආරක්ෂා කිරීම සඳහා සූදානමින් සිටින බව ජනාධිපතිවරයා පැවසීය.

