මෙරට ප්‍රවාහන පද්ධතිය කාර්යක්ෂම, සුරක්ෂිත හා නවීන තාක්ෂණයෙන් යුත් සේවාවක් බවට පරිවර්තනය කිරීම සඳහා සමස්ත ව්‍යුහයම සංශෝධනය කිරීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ප්‍රවාහන, මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී අද (12) පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
ප්‍රවාහන ක්ෂේත්‍රයේ පුනරුදය සඳහා ආර්ථික තරඟකාරිත්වය, පාරිසරික තිරසරභාවය, ඩිජිටල් පරිවර්තනය, සමාජ සමානාත්මතාව සහ ආරක්ෂාව යන කුළුණු පහ යටතේ උපායමාර්ගික සැලැස්මක් සකස් කර ඇති බවද මෙහිදී අනාවරණය විය.
කොළඹ නගරයේ රථවාහන තදබදයට විසඳුමක් ලෙස “Lanka Metro Transit” නමින් නව බස් සේවාවක් ආරම්භ කිරීමට නියමිත අතර, කොළඹ අවට ප්‍රධාන මාර්ග හයක් ඔස්සේ එය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරේ. බස්නාහිර පළාතෙන් ආරම්භ වන මෙම වැඩසටහන ඉදිරි වසර තුන තුළ ගාල්ල, මහනුවර ඇතුළු ප්‍රධාන නගර අටක් දක්වා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත. බස් ප්‍රමුඛතා මංතීරු හඳුනාගෙන ඒවා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
වෙළෙඳපොළේ විසිරුණු බස් සේවාව වෙනුවට සමාගම් (ක්ලස්ටර්) ක්‍රමයක් හඳුන්වාදීමටද මෙහිදී යෝජනා විය. එම ක්‍රමය යටතේ බස් හිමියන් සමාගමක් යටතට ගෙන ඒමත්, සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රජය හා සමාගම අතර ගිවිසුම්වලට එළැඹීමත් සිදු කෙරේ. අවශ්‍ය වුවහොත් සමාගමට රජයෙන් සහන ලබා දීමටද හැකි බව ජනාධිපතිවරයා පැවසීය.
බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන සැලසුම් කිරීමේදී දුම්රිය සේවය කේන්ද්‍ර කර ගනිමින් අනෙකුත් ප්‍රවාහන මාධ්‍ය ඒකාබද්ධ කිරීමේ වැදගත්කමද අවධාරණය කෙරිණි. කැලනි වැලි දුම්රිය මාර්ගය නවීකරණය කිරීම සහ අධිවේගී මාර්ග සඳහා ඉලෙක්ට්‍රෝනික ගාස්තු ගෙවීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීම පිළිබඳවද සාකච්ඡා විය.
රියදුරු බලපත්‍ර සඳහා දැනට ක්‍රියාත්මක නොවන ලකුණු කැපීමේ ක්‍රමය (Demerit Point System) Gov.pay පද්ධතිය සමඟ සම්බන්ධ කර මාස 6–7ක් ඇතුළත විධිමත්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයිද මෙහිදී සඳහන් විය. ස්ථානීය දඩ ක්‍රමයද (On-site Fine System) නවීකරණය කෙරේ.
ත්‍රීවිල් රථ, ටැක්සි සහ පාසල් වෑන් රථ නියාමනය සඳහා නව ක්‍රමවේදයක් සකස් කර ඇති අතර, සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් පසු එය ඉදිරිපත් කිරීමට නියමිතය.
සිසු සැරිය බස් සේවාව සඳහා 2025 වසරේදී රුපියල් මිලියන 2200ක් වෙන් කර ඇති අතර, එම මුදල් කාර්යක්ෂමව භාවිතා කර සිසුන්ට සෘජු ප්‍රතිලාභ ලබාදෙන ආකාරයෙන් වැඩසටහන පුළුල් කිරීමටද අවධානය යොමු විය.
මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ සියලු ආයතන එක් වේදිකාවකට ගෙන එමින් ජාතික ප්‍රවාහන පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
මෙම අවස්ථාවට ප්‍රවාහන, මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා, නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා, අමාත්‍යාංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල පෙරේරා මහතා ඇතුළු අදාළ ආයතන ප්‍රධානීහු සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටියහ.

