කොළඹ ගංගාරාම ශ්‍රී ඥානේශ්වර පිරිවනෙහි හිටපු පරිවේණාධිපති කෝට්ටේ සංඝ සභාවේ සහකාර ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත තන්තිරිමුල්ලේ සරණ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ පැවිදි දිවි ගමනේ පණස් විය සැමරුම් උළෙල පෙබරවාරි 11 (අද) දින සිදු වේ. ඒ අනුව උන්වහන්සේ වැඩ වෙසෙන පාණදුර ග‍ඟුල සිරිපරම විශුද්ධාරාම විහාරස්ථානයේදී සමාධි බුද්ධ ප්‍රතිමාවක් නිරාවරණය කිරීම, කුල දරුවකු සසුන්ගත කිරීම, භික්ෂුන් වහන්සේලා 100නමක් උදෙසා දානමය පිංකමක් සිදු කිරීමට ද නියමිත ය, තව ද ගිහි පිරිස සඳහා නවීකරණය නරන ලද සනීපාරක්ෂක ගොඩනැඟිල්ලක් විවෘත කිරීමද විශේෂ ආශිර්වාද බෝධිපූජා පිංකමක් සහ උඩරට නර්තන වැඩසටහනක් පැවැත්වීම ද අද සවස් කාලයේදී සිදුවේ.

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වේඬරුවේ උපාලි අනු නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උපහාර උත්සව මාලාව සිදු කෙරේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි, විශ්‍රාමික මහාචාර්ය අග්ගමහා පණ්ඩිත කොටපිටියේ රාහුල අනුනාහිමි ප්‍රධාන ගෞරවනීය මහ සංඝ රත්නයේ සහභාගීත්වයෙන් එම කටයුතු සිදු වනු ඇත.

වර්ෂ 1976 පෙබරවාරි 11 දා පැවිදි වියට පත් තන්තිරිමුල්ලේ සරණ හිමියන්. ධර්ම විනයෙහි මනා වු ශික්ෂණයක් ලැබ රාජකීය පණ්ඩිත ගෞරව උපාධියෙන් පිදුම් ලැබූහ. රුහුණු විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ධූරය ද හෙබවු උන්වහන්සේ කොළඹ ශ්‍රී ගංගාරාම ශ්‍රී ඥානේශ්වර පිරිවනෙහි ආචාර්ය වරයෙකු වශයෙන් මෙන්ම එහි පරිවේණාධිපතිධූරයද හොබවමින් සිදු කලේ මෙහෙවර විශිෂ්ට මෙහෙවරකි. සුමධූර ධර්ම දේශනා, පරිත්‍රාණ ධර්ම දේශනා හා පිරිත් අනුශාසනා දොරකඩ අස්න අනුශාසනා පැවැත්වීම් ආදියේ ව්‍ය මෙරට ප්‍රමුඛ දේශකයන් වහන්සේනමක් ලෙස උන්වහන්සේ ප්‍රකටය.

තන්තිරිමුල්ලේ සරණ හිමියන් මෙරට පමණක් නොව විදේශිය ධර්මදූත කාර්යයන්හි ද නිරතවූ හිමිනමකි. බුද්ධ ඥානය, සිදුහත්කුමරු සම්බුදු පදවි ලබති, උපාධ්‍යායවත, සාමණේර වත්සිරිත් අත්පොත ඇතුළු ධර්ම ග්‍රන්ථ රාශියක් ද උන්වහන්සේ අතින් ලියැවිණි. ශ්‍රි ලංකාවේ කීර්තිමත් දහම් පාසලක් වු ගඟුල ශ්‍රී  ඥාන විමල දහම් පාසල හා මොරටුව එගොඩ උයන ශ්‍රි ජිනේන්ද්‍ර චෛත්‍යාරාමය යන විහාරස්ථාන වල අභිවෘද්ධිය වෙනුවෙන් ද උන්වහන්සේ කර ඇති මෙහෙයද විශිෂ්ට ය.

බෞද්ධ ශාසනික වත් පිළිවෙත් අනුගත ශික්ෂාකාමී ධර්මෝන්නතිකාමී භික්ෂූවක් වන උන්වහන්සේ මෙරට ආදර්ශමත් යතිවරයන් වහන්සේ නමක ලෙස සම්මානිත ය.

නිශාන්ත‍ චාමින්ද පීරිස්

Share.
Leave A Reply