දුම්රිය දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරය 2014 දෙසැම්බර් මස 27 වන දින අවුරුදු 150 සංවත්සරය වෙනුවෙන් සංචාරක ආකර්ෂණයක් සහිත කඩුගන්නාව නගරය තුළ මාර්ගය හා දුම්රිය මාර්ගයට සමීපව  ජාතික දුම්රිය කෞතුකාගාරය විවෘත කරන ලදී. 

දුම්රිය සේවය ආරම්භ වන්නේ 1864 දෙසැම්බර් 27 කොළඹ සිට අඹේපුස්ස දක්වා මගීන් 84 ක් සමග පලවෙනි දුම්රිය ගමන සිදුවිය. මේ වෙනකොට අවුරුදු 11 ක කාලයක් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය සහ පැරැණි උපකරණ පිළිබඳ අවබෝධයක් දේශීය සහ විදේශීය සංචාරකයින්ට මෙන්ම අධ්‍යාපනය ලබන දරුවන්ට මෙම ස්ථානයෙන් යහපත් සේවාවක් සිදු කෙරෙමින් පවතී.

නමුත් වර්තමානය වන විට සංචාරක ආකර්ෂණය ඇති මෙම ස්ථානයේ නඩත්තු තත්ත්වය පිළිබඳ සතුටු දායක විය නොහැකි තත්ත්වයක් පවතී. මෙම ස්ථානය සියලු පහසුකම් සහිතව සංවර්ධනය කළහොත් දුම්රිය සේවයේ විකාශනය ලොවට ගෙනයන මහඟු ස්ථානයක් ලෙසින් කඩුගන්නාව නගරයට අභිමානයක් එක් කළ හැකි ස්ථානයක් මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල ආදායමක් ඉපයිය හැකි ස්ථානයක් ලෙසට නම් කළ හැකිය.

මෙම ස්ථානයට පිවිසෙන ඕනෑම අයෙකුට අපවිත්‍ර වී තිබීම, සංචාරකයන්ගේ ආකර්ෂණය අඩුවීම හා ගැටලු රාශියක් දැකගත හැකිය.

එනම්, පිවිසුම් මාර්ගය අවහිර වන අවස්ථා තිබීම, කෞතුකාගාරයට පිවිසෙන මාර්ගය පැහැදිලි නොවීම, මෙම ස්ථානයට පැමිණෙන වාහන නතර කරන ස්ථානය කොන්ක්‍රීට් ගල් යොදා ලස්සනට පිළිසකර නොකර තිබීම, උද්‍යාන අලංකරණය මෙන් අලංකරණයක් නොමැතිවීම, පිළිවෙලක් නොමැතිවීම, එළිමහන් වල තිබෙන පැරණි දුම්රිය එන්ජින්වල ආරක්ෂාවට වහලයක් හෝ පියවර නොගෙන තිබීම, ආරක්ෂිත වැටක්, තාප්පයක්, හරිත වැටක් හෝ වෙනත් උද්‍යාන අලංකරණ ක්‍රමයක් උපයෝගී කර ගැනීම සිදු නොකිරීම, සංචාරකයින්ට යා හැකි වැසිකිලි පද්ධතියක් යාබද තිබෙන අඩක් නිම කළ ඇති ඉඩම භාවිතා කිරීමට කටයුතු නොකිරීම (ඉදිරියෙන් වාහන නැවැත්වීමේ පහසුකම් ලබා දිය හැකි ස්ථානයක් තිබෙන බැවින් මේ සඳහා මධ්‍යම පළාත් සංචාරක අමාත්‍යංශයෙන්, නාගරික සංවර්ධන අධිකාරියේ කෞතුකාගාර දෙපාර්තමේන්තුවෙන්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්, වෙනත් අනුග්‍රහකුගෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන හා පහසුකම් ලබාගත හැක), මෙම කෞතුකාගාර ගොඩනැගිල්ල පරවියන්ගේ වාසභූමියක් බවට පත්ව ඇති බැවින් පරවියන්ගේ මල පහ කිරීම තුලින් එම කෞතුක භාණ්ඩ විනාශ වීමේ අවධානමකට ලක්ව ඇති අතර දුර්ගන්ධයද සංචාරකයින්ගේ ආකර්ෂණය අඩුවීමට හේතු වී ඇත. එම කෞතුක භාණ්ඩ අපවිත්‍ර වීම වැළැක්වීමට හා දිරාපත් වීම වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සිදුකළ යුතුව ඇත. කාර්ය මණ්ඩලය අවශ්‍ය පරිදි යොදා ගැනීම සිදු කිරීම, පිරිසිදු කිරීම සහ වෙනත් කාර්යයන් සඳහා අවශ්‍ය පිරිස යොදා ගැනීම, පරවියන් ඇතුළු වීම වැළැක්වීමට ප්ලාස්ටික් කර්ටන් භාවිතා කිරීම හෝ වෙනත් ක්‍රමයක් භාවිතා සිදු කළ යුතුවේ, විදුලිය ලබා ගැනීම සඳහා සෝලාර් පද්ධතියක් සවිකිරීමට පියවර ගැනීමට හැකිනම් එයින් අමතර ආදායමක්ද ලබාගත හැකිවීම, සෙනසුරාදා, ඉරිදා සහ පෝය නිවාඩු දිනයන් හි සංචාරකයින් වැඩිපුර පැමිණෙන හෙයින් එම දිනවලද විවෘතව තබා ආදායමද වැඩිකර ගැනීමට පියවර ගැනීම, සංචාරක මඟ පෙන්වන්නන් හට නීතියානුකූලව දැනුවත් කිරීම, සංචාරක මග පෙන්වන්නන් සංචාරකයින් හට පාරේ සිට පොටෝ ගසා කෞතුකාගාරේ ඇතුලත තිබෙන වටිනාකම නොපෙන්වමින් දැනුවත්භාවයකින් හෝ නොදැනුවත්භාවයකින් කටයුතු කිරීම නිරීක්ෂණය විය. එය වළක්වා ගතහොත් ආදායම ද වර්ධනය කර ගත හැක.

තවද දෙපැත්තකින් පුවරු දෙකක් යොදා සංචාරකයින් දැනුවත් කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට පියවර ගැනීම, දුම්රිය දෙපාර්තමේන්තුව පැත්තෙන් මෙය ප්‍රදර්ශනය කර ආදායම වැඩි කර ගැනීමට පියවර ගැනීම, දුම්රිය ආකෘතියට ඉහළින් සිවිලිමක් සවිකර දුම්රිය ආකෘතිය පිළිසකර කිරීම හා මෙම ප්‍රෞඩ ඉතිහාසයක් තිබෙන කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරය සංරක්ෂණය සඳහා හැකි ඉක්මනින් සියලු පියවරයන් ගැනීම සිදු කිරීම කළ යුතුය. 

මෙය කඩුගන්නාව වැනි සංචාරක පුරවරයකට වැදගත් වනවා මිස වෙනත් ප්‍රදේශයකට මෙය සුදුසු නොවනු ඇත. ඉහත සියලු දේ සකස්කර සංචාරක ප්‍රවේශපත්‍ර වැඩි මිලකටත්, දේශීය වැඩිහිටි ටිකට් පත රු 100/=ක් දරුවන් සඳහා ටිකට් පත රු 50/=ත් අලෙවි කිරීම මගින් ද විශාල ආදායමක් උපයා ගත හැක. එයින් තවත් මෙය සංවර්ධනය කරා යා හැක. 

කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් බහුලව ගැවසීම මගින් මෙම නගරයේ වෙළඳ ව්‍යාපාරික මහතුන් හටද තම ව්‍යාපාර සාර්ථක කර ගැනීම සඳහා මහත් වූ තෝතැන්නක් වනු ඇත. 

මෙම ස්ථානයට යාබදව ඩෝසන් කුළුණ, ගල විදපු තැන, සිංහ කට, ගඩලාදෙණිය, ඇම්බැක්කේ, බැලුම්ගල, මීයන් ඇල්ල සහ බලන ප්‍රදේශයට ඉක්මනින් පිවිසීමට පිහිටා තිබීම මගින් සංචාරක කර්මාන්තයට ආකර්ෂණය වැඩියෙන් ලැබීම නොවැලැක් විය හැකිය.

මෙම ස්ථානයට සංචාරකයින් බහුලව පැමිණෙන්නේ දුම්රියට සම්බන්ධව ඔවුන් තුළ තිබෙන අධික කැමැත්ත නිසා විය හැකිය. ප්‍රවර්ධනය තුළින් තවත් සංචාරකයින් හා බොහෝ පිරිස් ගෙන්වා ගැනීමට පියවර ගත හැකිය.

මෙම ව්‍යාපෘතිය ආරම්භ වන්නේ 2014 දුම්රිය දෙපාර්තමේන්තුව, යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කඩුගන්නාව නගර සභාව, කෞතුකාගාර දෙපාර්තමේන්තුව සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතියක් විදිහටය.

නමුත් කෙසේ හෝ අනෙක් පාර්ශවයන්ගේ ද දායකත්වය ලබා ගැනීමෙන් මෙම කෞතුකාගාරය සංරක්ෂණය කරමින් යාවත්කාලීන කර එහි දියුණුවට පියවර ගත යුතුව ඇත. 

නමුත් දුම්රිය දෙපාර්තමේන්තුව තුළ සිටින නිලධාරීන් මෙතෙක් මෙය නවීකරණය කොට දියුණු කිරීමට පියවරක් ගෙන නොමැති වීම කණගාටු දායක කරුණකි. 

වත්මන් රජයේ ගරු ජනාධිපතිතුමන්, ගරු ප්‍රවාහන ඇමතිතුමන්, නියෝජ්‍ය ඇමතිතුමන් සහ දුම්රිය සාමාන්‍යාධිකාරී තුමන් මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා අඩු පාඩු නිවැරදි කර පසුගිය ආණ්ඩු තුළින් මෙම ස්ථානයට සිදු නොවූ කෞතුකාගාරය නවීකරණය කිරීම මගින් අනාගත සංචාරක ස්ථානයක් ලෝකයේ බබලන ස්ථානයක් බවට පත්කර ගැනීමට කටයුතු කිරීමට කාලය උදා වී ඇත. විදේශ විනිමය ද උපයා ගත හැකි මාර්ගයක් බවට පත් කර ගනිමින් අනාගත මතු පරපුරට ආයෝජනයක් වෙනුවෙන් කරන මහත් සේවාවකි.

මාර්ග අවහිරතා නිසා ප්‍රධාන  මාර්ගයේ දුම්රිය ධාවනය කඩුගන්නාවත් රබුක්කනත් අතර දැනට සිදු නොවුනත් නුදුරේදී එම ධාවන කටයුතු ඉහලට ඇරඹුණත් මෙම විශාල එන්ජින් මැදිරි වෙනත් ස්ථානයකට රැගෙන යා නොහැකි බව පෙනේ. එනම් මෙම ස්ථානයේදීම මෙය සංරක්ෂණය කිරීමට පියවර ගැනීම මගින් අනාගත පරපුරට සුරැකීමට හැකිවන පරිදි, මෙයට උපකාර ගත හැකි සියලු ආයතන සම්බන්ධ කර ගැනීම තුළින් අවුරුදු 161 ක් ප්‍රෞඪ ඉතිහාසය මතු පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීම කළ හැක.එසේම දෙපාර්තමේන්තුවට කීර්තියක් මෙන්ම හොඳ ආදායමක් උපයා ගත හැකිය.

ඒ සඳහා දුම්රියට ලැදි සියලු දෙනාගේ අවධානයට සහ උපකාරයට කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරය දහසක් බලාපොරොත්තු මැද පටන් ගත්තත් එය නඩත්තු කර පවත්වාගෙන නොගියේ මෙම ස්ථානයෙන් මෙය ඉවත් කිරීමේ  සැලසුම් සහගත ව සිදු කෙරෙන ක්‍රියාවලියක්ද යැයි මහජනතාවට සිතේ.

මෙම ස්ථානය වෙතට කිසිදු දේශපාලන අධිකාරියක හෝ මෙයට වගකිවයුතු ආයතන හා බලධාරීන්ගේ අවධානය තවමත් යොමුවී නොමැතිවීම කඩුගන්නාව ප්‍රදේශවාසීන්ට මෙන්ම සංචාරකයින්ට කරනු ලැබූ මහත් වූ අසාධාරණයකි.

බොහෝ දරු දැරියන් උසස් අධ්‍යාපනයට අවශ්‍ය නිබන්ධන සැකසීමට තොරතුරු ලබාගත් මෙම ස්ථානය මෙලෙස විනාශ වී යාම අනාගත දරු පරපුරටද කරනු ලැබූ අසාධාරණයකි. 

මෙම ස්ථානයට පැමිණෙන සියලු දෙස් විදෙස් සංචාරකයින් හට දුම්රිය ස්ථාන හා වැඩ බිම් පරීක්ෂණයට යොදා ගත් අවුරුදු 90 ක් පමණ පැරණි මෝටර් ට්‍රොලියක්, මුල්ම දුම්රිය මාර්ගයේ ධාවනය වූ පළවෙනි මැදිරිය හා කොටස්, පටු දුම්රිය මාර්ගයේ ධාවනය වූ එන්ජින් දෙකක් හා කොටස්, අශ්වයන් ප්‍රවාහනය කරන ලද මැදිරිය,CGR500 දරන SUNTING එන්ජිමක් සහ M1 පළවෙනි ඩීසල් එන්ජිම වැනි ප්‍රෞඩ ඉතිහාසයක් තිබෙන කෞතුක භාණ්ඩ රැසක් නැරඹිය හැකිය. 

කඩුගන්නාව ප්‍රදේශය තුළ තිබෙන වටිනාකමින් යුත් මෙම ස්ථානය අනාගත පරපුර වෙනුවෙන් රැක ගත යුතුව ඇත. ඒ වෙනුවෙන් සියලු දෙනා ඒකරාශී විය යුතුය.

මෙය රැක ගැනීමට අදාල සියලු ආයතන සහ බලධාරීන්ගේ අවධානය යොමුවනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

Share.
Leave A Reply