දිවයින පුරා රෝහල් රැසක පවතින දුර්වල පරිපාලන තත්ත්වය හේතුවෙන් රෝගීන් මුහුණ දෙන ගැටලු රැසකට සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු සමහර සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සෘජුව වගකිවයුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය චෝදනා කළේ ය.
ශ්‍රී ජයවර්ධනපුර රෝහල ඇතුළු දිවයින පුරා රෝහල් රැසක පරිපාලන දුර්වලතා හේතුවෙන් මේ වන විට බරපතළ ගැටලු රැසක් ඉස්මතුව ඇති බවත්, එම තත්ත්වයට වර්තමාන රජය සෘජුව වගකිවයුතු බවත් එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ ය.
දැඩි ඖෂධ අර්බුදය පැවති පසුගිය වසර කිහිපය පුරා වකුගඩු රෝගීන් වෙනුවෙන් කැපවී සේවය කළ මාලිගාවත්ත වකුගඩු රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ වෛද්‍ය චාල්ස් නුගවෙල මහතාට සෞඛ්‍ය ලේකම්වරයා විසින් ලබාදී ඇති ස්ථාන මාරුව දැඩි ලෙස හෙළා දකින බව ද හෙතෙම පැවසී ය.
දිවයින පුරා වකුගඩු රෝගීන්ට අවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟ වූ අවස්ථාවලදී පරිත්‍යාගශීලීන් සමඟ එක්ව වසර ගණනාවක් පුරා රෝගීන්ට අඛණ්ඩ සේවාවක් ලබාදීමට වෛද්‍ය චාල්ස් නුගවෙල මහතා කටයුතු කළ බවත්, එවැනි වෛද්‍යවරයෙකු සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන දුර්වලතා වල බිල්ලක් බවට පත්වීම කනගාටුවට කරුණක් බව ද ඔහු අවධාරණය කළේ ය.
මාලිගාවත්ත වකුගඩු රෝහල තුළ ඉස්මතුව ඇති ගැටලු විසඳීම වෙනුවට රෝහල් පරිපාලකයන් බිල්ලක් බවට පත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අසමත් පරිපාලන ක්‍රමවේදය පැහැදිලිව ප්‍රදර්ශනය කරන්නක් බවත්, මෙය වර්තමාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ දෙබිඩි පිළිවෙත හෙළි කරන්නක් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

