මෙම මස (03) දින සිට මෙම ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කරන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට යොමු කර ඇති ලිපියක සඳහන් වේ.
බස්නාහිර පළාතේ විවිධ පොලිස් ස්ථානවල සේවය කර ඇති පොලිස් නිලධාරීන් යළි වෙනත් පොලිස් ස්ථානයක දුෂ්කර සේවයට යොමු කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සානුකම්පිතව සලකා එම ස්ථාන මාරු ක්‍රියාවලිය අවෝසී කරන ලෙස බස්නාහිර පළාත් පොලිස් නිලධාරීහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.
අප මේ ආණ්ඩුව පත් කිරීමට කටයුතු කළා. අපට ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවුන ද, හිටි හැටියේ බොහෝ දෙනෙකු යළි දුෂ්කර සේවයට යොමු කිරීමට ගත් තීරණය හේතුවෙන් අප දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා” යැයි පොලිස් නිලධාරීහු පැවසූහ.
මෙම තීරණය අනුව බස්නාහිර පළාතේ නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් දුෂ්කර සේවයේ යෙදවීමට පොලිස් ඉහළ නිලධාරීහු තීරණය කර ඇති බව පොලිස් නිලධාරිහු පැවසුහ.
නිසි පරිදි සේවය නොකරන, අල්ලස් හා දූෂණ චෝදනා ඇති නිලධාරීන් සම්බන්ධයෙන් නීතිමය තීරණ ගන්නා බව පිළිගත හැකි නමුත්, නිසි පරිදි රාජකාරි ඉටු කරන නිලධාරීන් කෙරෙහිද අවධානය යොමු කර මෙම ස්ථාන මාරු අවලංගු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද ඔවුහු සඳහන් කළහ.
යළි දුෂ්කර සේවයට යොමු වීම හේතුවෙන් තම දරුවන්ගේ අධ්‍යාපනය, නිවාස, පවුල් ජීවිතය, සමාජ හා ආර්ථික තත්ත්වයන් දැඩිව බලපාන බවත්, එබැවින් (03) වැනි දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ස්ථාන මාරු සම්බන්ධයෙන් සානුකම්පිත තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද බස්නාහිර පළාත් පොලිස් නිලධාරීහු පැවසූහ.
බස්නාහිර පළාත තුළ වසර 15 කට ආසන්න කාලයක් රාජකාරි කළ සමහර නිලධාරීන් සම්බන්ධයෙන් විවිධ අක්‍රමිකතා පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙන බව සැබෑ වුවද, එම තීරණ සමස්ත පොලිස් සේවයටම අසාධාරණ ලෙස බලපාන බවත්, දූෂිත නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීමට විරෝධයක් නැති නමුත්, නිසි ලෙස සේවය කරන නිලධාරීන් අසාධාරණයට ලක් නොකළ යුතු බවත් ඔවුහු අවධාරණය කළහ.

