ජීවිතයේ ස්වභාවය සමාජයට පසක් කර දුන් ඇය ගුවන් තලය සිසාරා පෑයු අසීමිත තාරකාවන් අතරේ නොනැසෙන, නොමැකෙන නාමයක් රැන්දූ ශූර තාරකාවක් බවද උන්වහන්සේ සදහන් කළහ.
හෙළයේ ගීත කෝකිලාවිය වූ කලාසූරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේදී සිදුකළ අවස්ථාවේදී එහිමියෝ මේ ප්‍රකාශ කළහ.
ලතා වල්පොල මහත්මියගේ දේහය ඊයේ පෙරවරු 10.00 සිට පස්වරු 2.00 දක්වා කොළඹ නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කරනු ලැබීය.
බෞද්ධ , කතෝලික, හින්දු, ඉස්ලාමීය සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව ගිහි පැවිදි අනුශාසනා පැවැත්විණි.
එසේම ලතා වල්පොල මහත්මිය ගැයු ගීත කිහිපයක් කලාකරුවෝ පිරිසක් එක්ව මෙහිදී ගායනු කරනු ලැබීය.
ජනපති අනුර කුමාර දිසානායක මහතා අවමංල්‍ය උත්සවයට එවා තිබූ ශෝක පණිවිඩය අගමැතිනි හරිණි අමරසූරිය මෙනවිය සභාවට ඉදිරිපත් කළාය.
මෙහිදී අනුශාසනාවක් කළ කොළඹ නව කෝරළයේ නව තොටමුනේ ප්‍රධාන සංඝනායක හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ මෙසේද පැවසූහ.
එදා මෙදා තුර සෑම රාත්‍රියකම ගුවන් තලය සිසාරා තාරකාවන් අසීමිතය පෑයුවා.ඒ තරු අතර නොනැසෙන නොමැකෙන නාමයක් රංදා අපගෙන් සමුගන්නා ලතා වල්පොළ නම් වූ මේ විශිෂ්ඨ ගණයේ ගායන ශිල්පිණිය ශූර තාරකාව පෑල දිගින් ආයේ මතුවට කවදාවත් අහසට නොනගින බව අපි දන්නවා. පුරා වසර 92ක ආයු කාලයක් ජීවත්වූ එතුමිය වසර 14 ඉදලා සුවහසක් කලා ශිල්පීන් හඩවමින් වගේම කලාකරුවන් ඇතුළු සකල ලංකාවාසි සියලු දෙනාට දුකක් වේදනාවක් ගෙන දෙමින් අද අවසන් ගමන් යනවා. ඇය වසර 14දී අරඹපු අලුත් ජීවිතය ගායන ශිල්පිණියක් හැටියට දශක හතක් විතර කාලයක් ලාංකික ජනතාව අතර නොමැකෙන නාමයක් රදවන්නට සමත් වුණා.ඇයටම ආවේණික වූ සුවිශේෂිත මධුර ස්වරයකින් ශ්‍රී ලාංකික කලාකාමී සියලු දෙනාම සන්තර්පයට පත්කළා විතරක් නෙමෙයි සිංහල චිත්‍රපට ගීතයේ රංගනය සදහා සුදුසු අභිමානවත් කාන්තා හඩ පෞරෂයක් එතුමිය ලබා සිටියා.ඒ තුළින් හෙළ සිනමාවට එතුමිය ලබාදුන්නු දායකත්වය සුලුපටු නැහැ.ධර්මදාස වල්පොළ නම්වු අසහාය ගායකයා සමග යුග දිවියට එළඹ තම කලා කුසලතාවයන් තවදුරටත් ඔපනංවා ගනිමින් ශ්‍රී ලාංකේය කලාකෙත අස්වද්දනට එතුමියට පුලුවන්කම ලැබුණා.ජීවිතයේ ස්වභාවට මොකද්ද කියන එක මේ ජීවත්වෙලා ඉන්න අන් අයට පසක් කර දෙමින් උපදින සත්වයා කාලයත් එක්ක වෙනස්වෙමින් ගිහින් මියයන බව අපි හැමෝටම යථාර්තයක් කරවමින් අද එතුමිය දැයෙන් සමුඅරගෙන ගිහින්. තව දශක ගණනාවක් ශ්‍රී ලාංකික අපිට කියවන්න, අහන්න,සිහිපත් කරන්න පුලුවන් ගී දහස් ගණනක් ඉතිරි කරලා අපෙන් එතුමිය සමුගන්නවා.බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව මේ විශ්වය මත ඉපදුන සත්වයා විසින් නිර්මාණය කළ ස්වභාවිකව හටගත් සියල්ල කාලයත් එක්ක වෙනස්වෙමින් ගිහිල්ලා එක්කෝ මිය යනවා,නැත්නම් විනාශ වෙනවා.නැතිවෙලා යනවා.මේක තමයි මේ මහපොළවේ තියෙන ඇත්ත කතාව.මහපොළවේ තියෙන යථාර්තය.විශ්වය ආරම්භ වූ දවසේ ඉදන් අද දක්වාම වුනෙත් මේක.අද වෙන්නෙත් මේක.හෙට දවසේ උරුමත් ඒකයි.ඒනිසා අපි මියයනවාය කියන කාරණය සිහිපත් කරන්නේය කියන එක බුදුවදන.අපි මැරෙන බව සිහිපත් කරනකොට අප තුළ තියෙන දුර්ගුණ නැතිවෙලා ගිහින් යහපත් වූ ගතිගුණ වලින් පෝෂණය වෙනවා.අපි ඉන්න කෙටි කාලය තුළ අන් අයට උදව් උපකාර කරමින්,අන් අයට අත දෙමින්,කරුණාව,දයාව,ලෙන්ගතුකම පතුරුවමින් ජීවත් වෙන්න ඕන.අපි මියයන දවසට සමාජයට යමක් ඉතිරි කරලා යන්න ඕන කියන සිතුවිල්ල මනසට ගන්න ඕන.ඒ පණිවිඩය ලබාදෙමින් එතුමිය අපෙන් සමුඅරන් ගිහින් තිබෙනවා.
කඩවත මාවරමංඩිය ශ්‍රී ගෞතම විහාරයේ ප්‍රධාන අනුශාසක පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමියෝ
ලතා වල්පොළ මහත්මිය සමාජයට අහිතකර ගීත ගායනා කළේ නෑ.ඇය අර්ථ රසයත්,ශබ්ද රසයත් තියෙන ගීත ගායනා කළා.ඒ කාලේ ජනතාව ඉල්ලුවේ මී පැණි.ඒ නිසා එතුමිය දුන්නෙත් මී පැණි.ඒ කාලේ සිටි ගායක ගායිකාවන් ඇතුලු කලාකරුවන් සමාජයට දුන්නේ මී පැණි.හැබැයි වර්තමාන කාලයේ සමාජ විපර්යාසය නිසා අවාසනාවකට ඒ මී මැස්සෝ මී මැස්සියො නෑ.ඊට වඩා වෙනස් මැස්සෝ මැස්සියො තමයි ඉන්නේ.ඒ ගොල්ලෝ ඉල්ලන්නේ වෙන වෙන දේවල්.අවාසනාවකට ඒ ඉල්ලන දේම දෙන්න සූදානම් සමහර පිරිස් මේ රටේ ඉන්නවා.ඒක අපේ ඉතිං අපේ අවාසනාව.අදාළ නැති දේ දීමෙන් අපේ සමාජය පරිහාණයට පත්වෙනවා.හැබැයි ලතා වල්පොළ ශූරිය ඇතුළු පිරිස අපේ රටේ සියලු දෙනාට යහපත ගෙන දෙන නිර්මාණ ඉදිරිපත් කළේ.ඒ ගීත රචකයන්ටත්,සංගීතවේදීන්ටත් අපි ගෞරව කරන්න ඕන.කලාකරුවෙක් කියන්නේ රටට,ජාතියට අයිති සම්පත්.ඒ ගොල්ලෝ ජනප්‍රිය වූ දා සිට අයිති අපිටයි.ඒ ගොල්ලෝ ගන්න තීරණ,හිතන පතන තීරණ හැම එකක්ම රසික රසිකාවියන් බලාගෙන ඉන්නවා.කලාකරුවෝ ගන්න තීරණවලදී වැරැද්දක් වුණොත් ඒ අයට හරියට රිදෙනවා.ඒ නිසා පින්වත් කලා ලෝකයේ අයගෙන් මේ අවස්ථාවේදී මං ඉල්ලන්න කැමතියි රසික රසිකාවියන් ගැන හිතන්න කියලා.කොච්චර දක්ෂ වුණත්,කොයි විදියේ ජීවිත අපි ගතකළත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අනිත්‍ය,දුක්ඛ,අනාත්ම කියන ප්‍රධාන කරුණු තුනට මුහුණ දෙන්න වෙනවා. සියලු දේ වෙනස්වී යනවා.ඒවා අනිත්‍ය වෙලා යනවා.අනිත්‍යවීම දුකයි.යමක් දුකනම් ඒක අනාත්මයි.ඒ නිසා ලතා වල්පොළ මහත්මියගේ කටහඩ අපි කාලාන්තරයක් තිස්සේ ඇසුවා. රූපකාය දුටුවා.හැබැයි අවසාන කාලය වන විට කොච්චර වෙනස්වෙලා ගියාද? ඒක තමයි අපි හැමෝටම සිද්ද වෙන්නේ.මෙම කරුණ අපි නිතර කල්පනා කරන්න ඕන.බුදුරජාණන් වහන්සේ දේශනා කළා කරුණු පහක් නිතර සිතිය යුතු බව.ඒ තමයි අපි වයසට යනවා වයසට යන එක නවත්වන්න බෑ.අපි ලෙඩ වෙනවා ලෙඩවෙන එක වළක්වන්න බෑ.අපි මැරෙනවා මැරෙන එක වළක්වන්න බෑ.අපිට ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන් වෙන්න සිදුවෙනවා එය වළක්වන්න බෑ. කොපමණ ජනප්‍රිය වුණත්,කොයිතරම් කීර්තිමත් කෙනෙක් වුණත් ,කොතරම් බලයක් තිබුණත් , නිලයක් තිබුණත්,අධ්‍යාපනයක් තිබුණත්,සමාජ තත්ත්වයක් තිබුණත්,ධනයක් තිබුණත් අපි කළ කුසල අකුසල කර්මවල විපාක විදින්න සිදුවෙනවා ඒක වළක්වන්න බෑ.
කොළඹ සහයක අගරදගුරු මැක්ස්වෙල් සිල්වා හිමි
ො“ලතා වල්පොළ මහත්මිය දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් වසර 92ක් ආයු වැළදුවා.එය දේව ආශිර්වාදයක්.මහගු වාසනාවක්.ඇය රට දැය වෙනුවෙන් ගීත විශාල ප්‍රමාණයක් ගායනා කර තිබෙනවා.ඒ සෑම ගීතයක් තුළින්ම ජනතාවගේ ජීවිතයට බලාපොරොත්තුවක් ලබාදුන්නා.ඇය කිතුනු ගී රාශියක් ගායනා කරමින් වසර 80ක් වැනි විශාල කාලයක් තුළ ගීත සංස්කෘතිය ඉදිරියට ගෙන යාමට කතෝලිකයෙක් වශයෙන් කටයුතු කළා.ලතා වල්පොල මහත්මිය දෙව් මවුන් නමදමින් ගයන නමෝ මරියනි ගීතිකාව කිතුනු ජනතාව අතර පමණක් නොව අනෙකුත් ශ්‍රී ලාංකීය ජනතාව අතරද ඉතා ප්‍රසිද්ධියට පත්වුණා.විශේෂයෙන් නත්තල් කාලය තුළ මේ ගීය ගැයෙනවා.ඒ නිසා අපව මැවූ දෙව් සමිදාන්ගේ හස්තයට අද දින ඇයව භාර කරනවා.ඇය පතන ස්වර්ගය හා දෙවියන් වහන්සේ වතට වත දැකීමේ භාග්‍ය උදාවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය
ශ්‍රී ලාංකේය ගීත ක්ෂේත්‍රයේ ගී රැජිණ යන විරුදාවලියෙන් පිදුම් ලැබූ ලතා වල්පොල මහත්මියගේ අභාවයෙන් ශෝක වන එතුමියගේ දරුවන්,ඥාති හිතමිත්‍රදීන් ඇතුලු ශ්‍රී ලාංකීය රසික ප්‍රජාවට මගේ ශෝකය පළකරනවා.පෞද්ගලිකව මමත් බොහොම කනගාටුවට පත්වෙනවා.ලතා වල්පොල මහත්මිය කියන්නේ තමන්ගේ ක්ෂේත්‍රයේ තමන්ගේ උපරිමය ඉටුකරපු ශ්‍රේෂ්ඨ කලාකාරිණියක්.එතුමිය අපේ වගේ රටක බිහිවීමම අපට වාසනාවක්.ඇය තැබූ ස්වර මුද්‍රාව තවත් සියවස් ගණනාවක් යනතුරු රසියකයන්ගේ හදවත් තුළ පවතින බව මට විශ්වාසයි.ලතා වල්පොල ගායන වේදිනිය දැයෙන් සමුගත්තද අප හදවත් තුළ සදා අමරණීයයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ලතා වල්පොල මහත්මිය ලංකාවේ ගීත වංශ කතාවේ රැජිණයි. ඇය නික්ම යෑම ශෝකජනක සිදුවීමක්.එතුමියගේ සමුගැනීම සම්බන්ධයෙන් අප කනගාටු වෙනවා.එසේම ඇය මිය යෑම පිළිබදව මුලු රටම දුකට පත්ව සිටිනවා. මම ලතා වල්පොල මහත්මියට කතා කලේ ලතා ඇන්ටි කියලා. ඇය මට හමුවන්නෙ සුචරිතයෙ දීයි. එතුමිය අතීතයේදී ගම්උදා වැඩසටහන්වලට සහභාගි වුනා. මෑත කාලයේ මගේ දින පොතේ අමතක නොවන දිනයක් වුයේ නොවැම්බර් 11 වෙනිදා යි. මේ දිනයට මම ඇයගේ නිවසට යනවා. එදිනට මම ඇය සමඟ එක්ව ගීත ගායනා කරනවා. ඇය සොදුරු චරිතයක්. හදවත ද ලස්සනයි. කටහඩද ලස්සන වු ඇය මට ද අවවාද දුන්නා. අපේ කාලයේ හැකියාව ගුණාංග ඇති චරිතයකි ලතා නම් චරිතය. මම හදුවතින්ම මම කම්පා වෙනවා ඇය සමුගෙන යාම ගැන. අවසාන වශයෙන් ඇයට මොක් සුව පතනවා.
සංගීත අනුමණ්ඩලයේ සභාපති නදික ගුරුගේ, සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.
ආගමික , බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි ,රාජ්‍ය පරිපාලන,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබයරත්න ඇතුලු මැති ඇමතිවරු, කලාකරුවන් හා ලතා වල්පොල මහත්මියට ආදරය කළ රසික රසිකාවියෝ දහස් ගණනක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
අනතුරුව ලතා වල්පොල මහත්මියගේ දේහය බොරැල්ල පොදු සුසාන භූමියට රැගෙන යනු ලැබීය.ඇයගේ අවසන් කටයුතු සිදුකළ අවස්ථාවට වල්පොල පවුලේ සාමාජිකයෝ,කලාකරුවෝ, විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු, විද්වත්හු දේශපාලනඥයෝ ඇතුලු පිරිසක් පැමිණ සිටියහ.
කලාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු, විද්වත්හු දේශපාලනඥයෝ වැනි පිරිස් ඇයගේ දේහයට අවසන් ගෞරව පුද කිරීම සඳහා සතරදිග්භාගයෙන් බොරැල්ලේ කනත්තට වෙත පැමිණි අයුරු දක්නට ලැබිණි.
වත්මන් ජනාධිපති වරයා මෙන්ම හිටපු ජනාධිපතිවරු වන මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද ගීත කෝකිලාවියගේ දේහයට අවසන් ගෞරව පුද කළෝය.
වයස අවුරුදු 13 දී ගීත ගායනයට එක්වූ ඇය දශක ගණනාවක් පුරා සිංහල සිනමාවට හා හෙළ ගී කෙතට එක් කළ ගීත සංඛ්‍යාව හය දහස් පන්සීයයකට (6500) අධික වේ. එම ගීත තවත් යුග ගණනක් රසික සිත් සුවපත් කරනු නිසැකය. දකශ ගණනාවක් හෙළ ගී කෙත පෝෂණය කළ ‘හෙළ ගී රැජන’ ලෙස අභිසෙස් ලැබූ ලතා වල්පොල මහත්මිය (31 වැනිදා) මළහිරු බැසයන සැන්දෑවේ අවසන් ගමන් යන්නේ දැයට ගී කෙතක් ඉතිරි කරමිනි.

