
SAHASYA INVESTMENT COMPANY ඈවර කිරීමට කැබිනට් අනුමැතිය
අධිවේගී මාර්ග මෙහෙයුම් කටයුතු යළි මාර්ග සංවර්ධන අධිකාරියට
අධිවේගී මාර්ග නඩත්තු කිරීම, ඒවා සංවර්ධනය කිරීම සඳහා උපායමාර්ගික ක්‍රමවේද සැකසීම සහ පිරිවැය අවම කරගැනීම සඳහා නවීන තාක්ෂණය යොදාගැනීමේ අරමුණින් පිහිටුවන ලද SAHASYA INVESTMENT COMPANY දියකර හැරීමට (Liquidation) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
පසුබිම: මෙම සමාගම පිහිටුවීම සඳහා මුලින්ම 2020-10-12 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වූ අතර, අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් සහ කළමනාකරණ කටයුතු විධිමත් ලෙස මෙම සමාගම වෙත පැවරීමට 2024-03-25 දින අනුමැතිය ලබා දී තිබුණි.
දියකර හැරීමට හේතු:
සමාගම ආරම්භ කළ දින සිට මෙතෙක් එහි කිසිදු මූලික අරමුණක් ඉටු කර නොමැති වීම සහ අදාළ මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කර නොමැති වීම.
1981 අංක 73 දරන මාර්ග සංවර්ධන අධිකාරී පනත මඟින් ජාතික මාර්ග සහ අධිවේගී මාර්ග සැලසුම් කිරීම, නිර්මාණය සහ නඩත්තුව සඳහා වන නීතිමය බලය මාර්ග සංවර්ධන අධිකාරිය සතු වීම.
අධිවේගී මාර්ග කළමනාකරණය සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම සහ ආයතනික ධාරිතාව මාර්ග සංවර්ධන අධිකාරිය සතුව පවතින බැවින්, එම වත්කම්වල අයිතිය සහ නියාමනය SAHASYA INVESTMENT COMPANY වෙත පැවරීම නීතිමය සීමාවන් ඉක්මවා යාමක් ලෙස හඳුනා ගැනීම.
අමාත්‍ය මණ්ඩල තීරණය: ඒ අනුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ලෙස ජනාධිපතිතුමා සහ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.
මෙම තීරණයට අනුව SAHASYA INVESTMENT COMPANY දියකර හරිනු ලබන අතර, අධිවේගී මාර්ග ජාලය, ඒ ආශ්රිත ඉඩම් සහ අනෙකුත් මෙහෙයුම් කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පවතින වෙනම මෙහෙයුම් ඒකකයක් මඟින් කළමනාකරණය කිරීමට නියමිතය.
වාර්තාකරණය: මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න මාධ්‍යවේදී යොහාන් රසිඳු සමඟ පුහුණු එරන්දී නාන්දූවගේ ✍️

