ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අරමුණු කරගනිමින් සහ ලලිත් – කුගන් ඇතුළු සියලු අතුරදන් වූවන්ට යුක්තිය ඉටුකරනු තේමාවෙන් ඊයේ (10) දින සම අයිතිය ව්‍යාපාරය විශේෂ මාධ්‍ය හමුවක් කැඳවන ලදී.
එහිදී මාධ්‍යට අදහස් දැක්වූ සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතා මෙසේ ද කීය.
ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අමතක වෙලා. අපි අද එකතුවෙලා ඉන්නේ ඒ අමතක කරවන්න උත්සහ කරන අතීතය නැවත උඩට ගන්න. අපි දන්නවා පසුගිය කාලයක් තිස්සේ මේ රටේ මානව හිමිකම් කඩකිරීම්. පුද්ගල පැහැරගැනීම්, අතුරුදන් කිරීම් සහ මනුෂ්‍ය ඝාතන විශාල ප්‍රමාණයක් වුනා. නමුත් ඒ කිසිවකට මේ වෙනකල් යුක්තියක් ඉටු වෙලා නැහෑ. බලයට පත් වෙන සියලු ආණ්ඩු ඡන්දෙ ගන්න කොට විවිධ පොරොන්දු අපිට දෙනවා. හැබැයි බලයට ආවට පස්සේ ඒගොල්ලන්ට තමන් දීපු පොරොන්දු අමතකයි. නැත්තම් ඕන කමින් අමතක කරනවා.
නමුත් සම අයිතිය ව්‍යාපාරය විදිහට අපි ඒ අඳුරු අතීතය සිහිනයක් විදිහට සළකලා අමතක කරන්න සූදානම් නෑ. මේ සියලු මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳව විධිමත් විමර්ශනයක් දැන්වත් කෙරෙන්න ඕන. සිද්ධවුනේ මොකක් ද කියලා අපි දැනගන්න ඕන. ඊළඟ කාරණය තමයි මේ පුද්ගල අතුරදන් කිරීම් සහ මනුෂ්‍ය ඝාතනවලට වගකිව යුතු අය අදටත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නවා. ඒ අයට විරුද්ධව නීතය ක්‍රියාත්මක වෙන්නෙ නෑ.
දැන් යුද්ධය ඉවර වෙලා අවුරුදු ගණනාවක් ගතවෙලා ඉවරයි. මේ කාලය ඇතුලේ ආණ්ඩු හතරක් බලයට පත් වුනා. හැබැයි ඒ හැම ආණ්ඩුවක්ම මේ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ගැන කිසිඳු යුක්තියක් ඉටු කරන්න මැදිහත් වෙලා නෑ.
අපි දන්නවා ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට ආවේ දේශපාලන පොරොන්දු ගණනාවක් ජනතාවට ලබා දීලා. එක්නැලිගොඩ ඝාතනය, ලලිත් කුගන් අතුරදන් කිරීම, තාජුඩීන් ඝාතනය වගේ පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමයේ වුන ඝාතන සහ අතුරදන් කිරීම්වලට යුක්තිය ඉටු කරනවා කියලා ඔවුන් කිව්වා. ඒ වගේම තමයි ත්‍රස්ත පනත ඇතුළු සියලු මර්දන නීති අහෝසි කරනවා කියලා පොරොන්දු දුන්නා. හැබැයි අදටත් ඒ ප්‍රකාශ හුදු කතන්දරවලටම විතරක් සීමා වෙලා. අර ජන බලයට බයේ පැනලා ගියපු ගෝඨාභය රාජපක්ෂ තමයි ලලිත් කුගන් අතුරදන් කිරීමට වග කියන්න ඕන. හැබැයි දැන් ඒ ගෝඨාභය යාපනය උසාවියට එන්නෙ නෑ සාක්ෂි දෙන්න. ඔහු උසාවිය මගහැරලා ඉන්නේ. ආණ්ඩුවට තවම බැරි වුනා ඊට එරෙහිව පියවරක් ගන්න.
ලොකේ මානව හිමිකම් ගැන කතා කරන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ තියනවා. මානව හිමිකම් කවුන්සිලයක්. හැබැයි ඒගොල්ලන්ටත් මානව හිමිකම් මතක් වෙන්නේ සැසිවාරය තියන කාලයට විතරයි.
අනිත් කාලෙදි උගුරට හොරා බෙහෙත් බොන එක තමයි කරන්නේ. අදටත් මඩකළපුව මුලතිව් ප්‍රදේශවල ජනතාව දින 2000කට වැඩි සත්‍යග්‍රහයක ඉන්නවා. තිස් අවුරුදු යුද්දේ ඇතුළේ ඒ පවුල්වල අම්මලාට තමන්ගේ දරුවව අහිමි වෙලා. දරුවන්ට තමන්ගේ තාත්තව අහිමි විලා. බිරිඳට සැමියට තමන්ගේ සහකරුවා සහකාරිය අහිමි වෙලා.
අදටත් ඒ මිනිස්සු හොයනව තමන්ගේ දරුවට, තාත්තට, බිරිඳට සැමියට මොකද වුනේ කියලා. උතුරේ විතරක් නෙමෙයි පසුගිය 71 කාලේ 88 – 89 කාලේ දකුණෙත් දහස් ගණනක් අතුරදන් වුනා.
දැන් බලයේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සහෝදරයාව පණපිටින් බොරැල්ල අදාහනාගාරෙට දාලා පිච්චුවා. ඒ අපරාධකරුවෝ අදටත් ඉන්නේ නිදැල්ලේ. හැබැයි බලය ලැබිලත් මේ ආණ්ඩුවට මුකුත්ම කරගන්න බැහැ. අඩුම තරමින් තමන්ගේ පක්ෂයේ දහස් ගණනක් බටලන්ද වධකාගාරයේ තියාගෙන දස වද දීලා මරපු රනිල් වික්‍රමසිංහට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරගන්නවත් මේ ආණ්ඩුවට හැකියාවක් නැහැ.
කොළඹ වරාය පරිශ්‍රයෙන් පසුගිය දිනවල සිය ගණනක් ඇටසැකිලි හමු වුනා. අනිත් පැත්තෙන් යාපනය චෙම්මනි සමූහ මිනී වළෙන් පුංචි ළමයි ඇතුළු සිය ගණං ඝාතනය වූවන්ගේ ඇටසැකිලි මතු වෙනවා. දැන් ඔන්න ඒක යටගහන්න වැස්සට වතුර පිරෙනවා කියලා කැණීම් නවත්තනවා. මේ පාලකයෝ දන්නවා මේවා ගැන විධිමත් විමර්ශනයක් වුනොත් මොකද වෙන්නේ කියලා. ඒ ඉරණම දන්න නිසා තමයි මේවා යට ගහන්නේ හමුදාව පොලීසිය පවා මේවට හවුල් වෙලා ඉන්නේ.
දැන් මේ රටේ ජනතාව තමන්ගේ ප්‍රශ්නවලට සාධාරණයක් ඉටු වෙයි යුක්තිය ඉටු වෙයි කියලා බලාගෙන හිටියා ඇති. උතුරේත් දකුණේත් සියලු අතුරදන් කිරීම්වලට ඝාතනවලට එරෙහිව යුක්තිය ඉල්ලා සඨන් කරන්න අපි සියලු දෙනා එකතුවෙලා පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩනගන්න ඕන. අන්න ඒ සඳහා එකතුවෙමු කියලා මේ මානව හිමිකම් දිනය දවසේ අපි රටේ සියලු ජනතාවට යෝජනා කරනවා.
මෙම අවස්ථාවට පසුගිය කාලයේ අතුරදන් වූ සහ ඝාතනය වූවන්ගේ පවුල්වල පිරිසක් ද එක්ව සිටියහ.

