කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් වාරි මාර්ග ක්ෂේත්රයේ සිදු වූ ආපදාවන් වෙනුවෙන් ගොවි ජනතාවට දෙසැම්බර් 30 වන විට වගා හානි වන්දි ලබා දෙන බව කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා පැවසීය.
බත්තරමුල්ලේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවි ජන මන්දිරයේ දී ඊයේ (08) සවස පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා එසේ පැවසීය.
මෙම මස 20 වනදාට පෙර කෘෂි කර්ම පර්යේෂණ නිලධාරි හෝ කාෂි කර්ම ක්ෂේත්‍ර නිලධාරින්ට හෝ ගොවි ජන සේවා මධ්‍යස්ථානයට රජය ලබා දුන් ආකෘති පත්‍රය පුරවා භාරදෙන ලෙස අප ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් නැතිනම් තම හානිය පිළිබදව ක්ෂණික දුරකතන අංක 1920 ට දැනුම් දෙන ලෙස ද ඒ මහතා කීය.
වී,එළවලු, පළතුරු, අතිරේක භෝග මෙන්ම ගව, එළු,කුකුලු ගොවියන්ද මල්වගා කරුවන්ටද නිර්දේශිත ආකාරයට උපරිම වන්දි ලබාදෙන බවද ඒ මහතා කීය.
සෑම ගෙවත්තකට සුදුසු ප්රදේහයට ගැළපෙන පරිදි ගෙවතු වගා සංග්‍රාමයක් රජය දියත් කරන්නට සැලසුම් කර ඇති බව ද පළාත්, දිස්ත්‍රික්, ප්‍රාදේශිය ලේකම් ග්‍රාම නිලධාරි කොට්ඨාස මට්ටමින් ඇති කිරීමට පියවර ගන්නා බවත් ඒ සඳහා ආධාර උපදෙස් මූල්‍යමය පහසුකම් ගෙදරටම පැමිණි කෘෂි නිලධාරිහු සේවා සපයන්ට මේ වන විටත් සිදු කරමින් සිටින බව ද ඒ මහතා කීය.
යළි වී වගාව ඇතුළු සියලුම වගාවන් ආරම්භ කරන බවත් කෙටි කාලීන වී වගාව සඳහා ගොවින් උනන්දු කරන්නට පියවර ගන්නා බව ද ඒ මහතා පැවසීය.
ආපදා තත්ත්වය හේතුවෙන් ගොඩ මඩ ගොවිබිම් හෙක්ටයාර 131,743ක් විනාශ වී ඇතැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා පැවසිය.
ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (08) ගොවිජන මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිණී.
ඒ අතර කුඹුරු හෙක්ටයාර 108,000ක ප්‍රමාණයක් ද, බඩඉරිඟු හෙක්ටයාර 6,600 ක්, උඩරට එළවලු වගාබිම් හෙක්ටයාර 2,613 සහ පහතරට එළවළු වගාබිම් හෙක්ටයාර 3530ක් හා අනෙකුත් භෝග හෙක්ටයාර 11,000ක ප්‍රමාණයක් වන බවද ඒ මහතා පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
“මෙරට කුඹුරු වගාවන් හෙක්ටයාර් 615,000ක් වගා කර තිබූණා. එයින් හෙක්ටයාර් 108,000ක ප්‍රමාණයක් පූර්ණ වශයෙන් හානියට ලක්වෙලා. බඩඉරිඟු හෙක්ටයාර් 87,244ක් වගා කරලා තිබුණා. එයින් හෙක්ටයාර් 6,600 ක ප්‍රමාණයක් විනාශයට පත්වෙලා.අනෙකුත් ක්ෂේත්‍ර භෝග හෙක්ටයාර් 27,600ක ප්‍රමාණයක් අපි වගා කරලා තිබුණා. එයින් හෙක්ටයාර 11,000 ක ප්‍රමාණයක් පූර්ණ වශයෙන් විනාශට ලක්වෙලා.
උඩරට එළවලු හෙක්ටයාර් 5,893කින් 2,613ක් සම්පූර්ණ වශයෙන් හානියට පත්වෙලා. පහතරට එළවළු හෙක්ටයාර් 8,990කින් හෙක්ටයාර් 3, 530ක් සම්පූර්ණ වශයෙන් විනාශයට පත්වෙලා. මේ ගොවිබිම්වල වගා කරලා තියෙන දරන ලද වියදමත්, ඒ ගොවිබිම් නැවත වගාබිම් බවට පරිවර්ථනය කිරීම සඳහාත් තමයි මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛණයක් මගින් මුදල් වෙන් කිරීමේ ක්‍රමවේදයක් ලබා දීලා තියෙන්නේ.
ඒ අනුව විනාශ වූ කුඹුරු හෙක්ටයාර් 1ක් සඳහා රුපියල් එක්ලක්ෂ පනස්දහසක වන්දි මුදලක්, බඩඉරිඟු සහ අනෙකුත් භෝග සඳහාත් හෙක්ටයාරයකට රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදලකුත්, එළවළු සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ දෙකකුත් වශයෙන් වන්දි මුදලක් ලබා දීමට කටයුතු කරමින් පවතිනවා.
මේ සඳහා මූලික කටයුතු මේ වන විට කරමින් පවතිනවා. ඇතැම් ගොවි මහතුන් මේ වන විටත් වගා බිම් කටයුතු නැවත ආරම්භ කරලා. මේ සියලු දෙනාම සැලකිල්ලට ගනිමින් මේ අනුමත මුදල් කඩිනමින් ලබා දීමට කටයුතු කරමින් පවතිනවා. කඩිනමින් ගොවින්ට මුදල් ලබා දීමට කටයුතු කරනවා. යම්කිසි ගොවි මහතෙකුට යම් ප්‍රමාදයක් වගේ පේනවානම් ඔවුන්ට කෙලින්ම පුළුවන් අපගේ 1918 ක්ෂණික දුරකථන අංකයට කතා කරලා තොරතුරු කියන්න. සමහර ප්‍රදේශවල රාජ්‍ය නිලධාරීන් පවා පිඩාවට පත්ව තිබෙන නිසා යම් අපහසුතාවයක් සිදුවෙනවා නම් ඒවත් මේ හරහා මග හරවා ගන්න පුලුවන්.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ජෙනරාල් ධම්මික රණතුංග මහතා
සහනාධාර ලබාදීමේ අයදුම්පත්‍රය මේ වන විටත් ක්ශේත්‍ර නිලධාරීන්ට යොමු කර තිබෙනවා. මේ සතිය තුළම අයදුම්පත පුරවා ළඟම සිටින කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිවරයාට හෝ ගොවිජන මධ්‍යස්ථානයට භාරදෙන්න. වී නිෂ්පාදනයෙන් වැඩි ප්‍රමාණයක් ලබාගන්නේ මහ කන්නය තුළ නිසා ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් මහ කන්නය බාධාවකින් තොරව පවත්වා ගැනීම සුවිශේෂී අවශ්‍යතාවයක්.
ආපදාවට ලක්වූ කුඹුරු ඉඩමක් තිබෙනවා නම් එය නැවත වගා කිරීමටයි රජය මේ සුවිශේෂී සහනාධාරය ලබා දෙන්නේ. සාමාන්‍යයෙන් වී වගාවේ අවසන් අදියරයේදී හානියක් වුනොත් කෘෂි රක්ෂණ මණ්ඩලය අක්කරයකට රුපියල් 40000 මුදලක් හා පැළ ගොයම අවස්ථාවේදී අක්කරයකට රුපියල් 16000 මුදලක් ලබා දෙනවා. මෙවර පැල ගොයම අවස්ථාවේදියි මේ ආපදාව සිදුවුනේ. මහ කන්නයට ගොවින් නැවත යොමු කරවා ගැනීමේ අවශ්‍යතාවය නිසා හෙක්ටයාරයකට රුපියල් එක්ලක්ශ පනස්දහසක සහනාධාරයක් මෙවර රජය ලබාදෙනවා.
කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් තුෂාර වික්‍රමාරච්චි මහතා
ආපදා තත්ත්වයෙන් වී වගාවට වඩා අතිරේක බෝග හා එළවළුවලට වූ හානිය වැඩියි. මේ නිසා ගොවින්ව දිරිමත් කරන ලෙස කෘෂිකර්මය ක්ෂේත්රයට අදාළ සියලු නිලධාරීන්ට උපදෙස් දීල තියෙනවා. ගොවි ජනතාව තනිවෙලා නැහැ. රජය නිලධාරීන් සියලු දෙනා ගොවි ජනතාව සමග සිටිනවා. මෙවැනි සහනාධාරයක් ඉතිහාසයේ කිසිම දවසක ලැබිල නැහැ. ඒ නිසා දෙසැම්බර් 20ට පෙර අපි නැවත වගාවට යා යුතුයි.
වී වගාවේදී අක්කරයකට යූරියා කිලෝ ග්‍රෑම් දහයක් හා ෂාකය දරා ගැනීමට අවශ්‍ය පොටෑස් පොහොර කිලෝග්‍රෑම් 10ක් පමණ අවශ්‍යයි. යටවුණු වගාවලට අමතර පොටෑස් කිලෝග්‍රෑම් 10ක් යොදන්න කියලා අපි නිර්දේශ කරනවා. මේ වනවිට එළවළු වගාවෙන් 40%ක් පමණ හානි වෙලා.
වී වගාවට වගේම එළවළු වගාවටත් අතිරේක භෝග වගාවටත් අයදුම් පත්‍රයක් තිබෙනවා. දෙසැම්බර් 30ට පෙර සහනාධාර ලබා දෙන්න අවශ්‍ය නිසා කඩිනමින් එම ඇදුම්පත්ර පුරවා එවන්න. පාරිභෝගිකයා වගේම ගොවි ජනතාවත් රැක ගැනීමට අවශ්‍යයි. එළවළු හෝ පලතුරු හිඟයක් ආවොත් එයට මුහුණ දීම සඳහා ගෙවතු වගාවටත් යොමුවෙන්න.
රටේ පොහොර අඩුවක් නැහැ. හෙක්ටයාර 60000ට අවශ්‍ය බීජ වී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ පෞද්ගලික ආයතන සතුව තිබෙනවා. ඒ වගේම කෙටිකාලීන වී ප්‍රභේදවලට යොමු විය යුතුයි. පහුගිය කාලයේ කීරි සම්බා සහල්වල අඩුවක් තිබුන නිසා හානි වූ කුඹුරු නැවත වගා කිරීමේදීත්, අලුතෙන්ම වගා කිරීමට තිබුණු කුඹුරුවලත් කීරි සම්බා යොදන්න කියන පණිවිඩයත් අපි ගොවි මහත්වරුන්ට ලබා දෙනවා.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ ඒ.එල් සන්දික මහතා
හානි වූ කුඹුරු නැවත වගා කළ නොහැකියි උපකල්පනය කළොත් අපට හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ අටකට ආසන්න ප්‍රමාණයක් අහිමි වෙනවා. නැවත වගා කිරීම හරහා එයින් අඩකට වැඩි ප්‍රමාණයක ඵලදාවක් අපිට නැවත ලබාගන්න පුළුවන්. පහුගිය අස්වැන්න සමග අපට මාස 13 පමන හාල් අතිරික්තයක් තිබුණා. කීරි සම්බා හාල් පමණයි අඩුවකට තිබුණේ. ආපදා අවස්ථාවේ එළවළු මිල වැඩි වුනත්, මේ වන විට එළවළු මිල පහළ බැස තිබෙනවා.
ආපදාවෙ ස්වභාවය අනුව බිත්තර මිල අසමාන්‍ය ලෙස මිල ඉහළ ගොස් තිබෙනවා. යම් ආහාරයක් ආනයනය කරනවද නැද්ද කියන එක තීරණය කරන්නේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ කමිටුව හරහායි. පාරිභෝගිකයාගේ ආරක්ෂාව වෙනුවෙන් එවැනි තීරණ වලට යොමු විය හැකියි.
ආපදා තත්ත්වයෙන් ගවයන් 30 000ක් පමණ මියගොස් ඇති බවත් එළුවන් 15 000ක් පමණ මියගොස් ඇති බවට දැනට දත්ත සටහන් වෙන බව සත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් කේ.කේ සරත් මහතා පැවසීය.
වැඩිම හානියක් සිදුව ඇත්තේ මන්නාරම් ප්‍රදේශයේ ගව පාලනයට බවත් ඒ මහතා කීය.
කුකුල් කර්මාන්තය අතරේ ගත් කළ සියයට 10ක් පමණ කර්මාන්තයට හානි සිදුව ඇති බවත් එය කිසිසෙත්ම කුකුල් මස් හෝ බිත්තර නිෂ්පාදනය සම්බන්ධයෙන් බලපාන්නේ නැති බවත් මිල ඉහළ යෑමක් හෝ සිදුවන්නට කිසිදු තත්ත්වයක් නොමැති බවත් ක්ෂණිකව බිත්තර මිල හෝ මස් මිල ඉහළ දමන්නට යම් කිසි ව්‍යාපාරික හෝ වෙළෙද පිරිසක් කටයුතු කරන්නේ නම් ඒ අයට උපරිම ආකාරයට නීතිමය පියවර ගන්නා බව ද ඒ මහතා පැවසිය.
හානියට පත් සත්තු වෙනුවෙන් හා රුපියල් ලක්ෂ 2 ක දීමනා වන්දියක් ලබා දෙන බවත් එහි දී සතුන් මිය යෑම, සත්ව ගාල් විනාශයට පත් කිරීම,තෘණ වගාවවට හානි සිදු වීම, කිරි හා කිරිනිෂ්පාදනවලට හා එම කර්මාන්තයට සිදු වු හානි සඳහා මෙම වන්දි මුදල් ලබා දෙන බව ද ඒ මහතා පැවසිය.

