හෙට රටපුරා ජනතාව දැනුවත් කෙරේ   කප්පාදු කළ වැටුප් සහ දීමනා යළි ලබා ගැනීම ඇතුළු මූලික ඉල්ලීම් 5ක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කරමින්, මේ පිළිබඳව මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන් දැනුවත් කිරීම අද (24) ආරම්භ කර තිබේ.  

පසුගිය ආර්ථික අර්බුද සමයේදී සිය වැටුප් හා දීමනා විශාල ලෙස කපා හැරීමට ලක් වුවද, වෛද්‍යවරුන් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමට නොදී පවත්වාගෙන ගිය බව එම සංගමය පෙන්වා දෙයි. කෙසේ වෙතත්, වර්තමානයේ පවතින ආර්ථික ගැටලු හමුවේ වෛද්‍ය සේවය තවදුරටත් ප්‍රශස්තව පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති බවත්, ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා ඇතුළු රජයෙන් දිගින් දිගටම ඉල්ලීම් කළද රජය ඊට සංවේදී නොවූ බවත් සංගමය චෝදනා කරයි.  

2027 අයවැය යෝජනාවලිය තුළ ඉටු කර ගැනීමට අපේක්ෂිත ප්‍රධාන ඉල්ලීම් 5:   2018 වර්ෂයේ අනුමත කළ නමුත් පූර්ණ වශයෙන් නොගෙවන DAT දීමනාව සම්පූර්ණයෙන් ගෙවීම ආරම්භ කිරීම.   වියදම් ප්‍රතිපූර්ණය මූලික කරගත් DAT දීමනාව දේශීය ආදායම් පනතට අනුව බදු වලින් නිදහස් කිරීම.   2025 වර්ෂයේ සිට අත්හිටුවා ඇති අමතර රාජකාරි හා නිවාඩු දින දීමනාවන්හි 1/3ක ප්‍රමාණය නැවත ගෙවීම.   සුදුසුකම් සපුරා ඇති සියලු වෛද්‍යවරුන් 22/99 චක්‍රලේඛය වෙත අන්තර්ග්‍රහණය කර ප්‍රවාහන පහසුකම් ලබා දීම.   වසර 6කට ආසන්න කාලයක් අත්හිටුවා ඇති බදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර නැවත ක්‍රියාත්මක කිරීම.   මේවා කිසිදු නව ඉල්ලීමක් නොව, මෙතෙක් වෛද්‍යවරුන්ට හිමිව තිබී අත්හිටුවන ලද හෝ නොගෙවා සිටින ලද දීමනා සහ වරප්‍රසාද පමණක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

රජයේ නිහඬ පිළිවෙත හේතුවෙන් පසුගිය නොවැම්බර් 23 වනදා සිට වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කළ බවත්, ජනාධිපතිවරයා, අමාත්‍ය මණ්ඩලය සහ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත සිය ඉල්ලීම් ඇතුළත් ලිපියක් භාර දී ඇති බවත් සංගමය සඳහන් කරයි.   මීට සමගාමීව හෙට (25) දිනයේදී කොළඹ ඇතුළු දිවයිනේ සියලුම ප්‍රධාන නගර ආවරණය වන පරිදි මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද නියමිතය.

තමන්ට කිසිදු දේශපාලන අරමුණක් නොමැති බවත්, වෛද්‍යවරුන්ට නිසි ආර්ථික සාධාරණය ඉටු කරවා ගැනීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී රජයෙන් සාධනීය ප්‍රතිචාරයක් අපේක්ෂා කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ශ්‍රී.කේ.ඩී. වරකාගොඩ මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.    

Share.
Leave A Reply