ගිගාවොට් පැය 867 සිට 1,674 දක්වා ඉහළ ගිය සූර්ය විදුලියේ සැබෑ ආර්ථික බලපෑම හෙළි කරන ලෙස අමාත්‍යවරයාට දින 14ක අභියෝගයක්!
ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) 2025 වසරේ මූල්‍ය පාඩුවට වහල මත සවිකර ඇති සූර්ය විදුලි පද්ධති සඳහා කරන ගෙවීම් සහ විදුලි ගාස්තු අඩු කිරීම හේතු වූ බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා 2026 නොවැම්බර් 19 වැනි දින පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට එරෙහිව, විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය විසින් දින 14ක් ඇතුළත සම්පූර්ණ සංඛ්‍යා දත්ත සහ ගණනය කිරීම් ලබා දෙන ලෙස 2026 නොවැම්බර් 24 වැනිදා ලිඛිත ඉල්ලීමක් යොමු කර තිබේ.
පාර්ලිමේන්තු ප්‍රශ්න අංක 0180/2026 යටතේ ඉදිරිපත් කර ඇති නිල දත්ත උපුටා දක්වමින් එම සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා පෙන්වා දෙන්නේ, 2024 වසරේ ගිගාවොට් පැය 867ක් ලෙස පැවති වහල මත සූර්ය විදුලි නිෂ්පාදනය 2025 වසරේදී ගිගාවොට් පැය 1,674ක් දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි.
එම කාලය තුළ තාප ඉන්ධන සහ ගල් අඟුරු මඟින් සිදු කළ විදුලි නිෂ්පාදනය අඩු වී ඇති බැවින්, සූර්ය විදුලිය මිලදී ගැනීමට වැය කළ මුදල පමණක් පෙන්වා එය මණ්ඩලයට පාඩුවක් බවට නිගමනය කිරීම සාවද්‍ය බව ඔහු අවධාරණය කරයි.
සූර්ය විදුලිය ජාතික පද්ධතියට එක්වීමෙන් අඩු වූ තාප හා ගල් අඟුරු බලාගාර ක්‍රියාකාරිත්වය හේතුවෙන් ඉතිරි වූ ඉන්ධන සහ විදේශ විනිමය ප්‍රමාණය ගණනය කර, සැබෑ ශුද්ධ ආර්ථික බලපෑම ජනතාව හමුවේ තැබීම රජයේ වගකීමක් බවද එම ලිපියේ සඳහන් වේ.
අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති ප්‍රධාන දත්ත සහ ගණනය කිරීම්:
සූර්ය විදුලි මිලදී ගැනීමේ වියදම් (2023, 2024 සහ 2025): Net Metering, Net Accounting, Net Plus, Net Plus Plus සහ ජාලයට සම්බන්ධ අනෙකුත් සූර්ය විදුලි නිෂ්පාදකයන් යටතේ වසර අනුව මිලදී ගත් විදුලි ඒකක ප්‍රමාණය, ගෙවූ මුළු මුදල සහ ඒකකයකට ගෙවූ සාමාන්‍ය මිල.
තාප බලාගාර සඳහා අවශ්‍ය වූ ඩීසල් සහ අනෙකුත් ද්‍රව ඉන්ධන ප්‍රමාණය, ඉතිරි වූ ගල් අඟුරු ප්‍රමාණය, එම ඉතිරිකිරීම්වල මූල්‍ය වටිනාකම සහ ඒ සඳහා යොදාගත් ඉන්ධන මිල හා තාක්ෂණික උපකල්පන.
ඉන්ධන ආනයනය අඩුවීමෙන් 2023–2025 කාලය තුළ රටට ඉතිරි වූ විදේශ විනිමය ප්‍රමාණය පිළිබඳ වාර්ෂික ගණනය කිරීම් සහ අදාළ වාර්තා.
සූර්ය විදුලියට ගෙවූ මුදලින් ඉතිරි වූ ඉන්ධන වියදම සහ අනෙකුත් සෘජු ආර්ථික වාසි අඩු කළ පසු 2023, 2024 සහ 2025 වසරවලදී මණ්ඩලයට ඇතිවූ ශුද්ධ මූල්‍ය බලපෑම (එවැනි ගණනයක් සිදු කර නොමැති නම් පාඩුවක් යැයි නිගමනය කළ පදනම).
2025 පාඩුවට බලපෑ අනෙකුත් වියදම් (2023–2025 සංසන්දනය): විදුලි බලාගාර ධාරිතා ගෙවීම්, විදුලිය මිලදී ගැනීමේ වියදම්, සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ වියදම්, මූල්‍ය හා පොලී වියදම්, පරිපාලන හා ආයතනික වියදම් සහ ප්‍රමාද වූ හෝ වැඩ අවසන් නොකළ ව්‍යාපෘති සඳහා දැරූ වියදම් හා ගෙවීම්.
2025 වසරේ විදුලි ගාස්තු අඩු කිරීම හේතුවෙන් මණ්ඩලයට සිදු වූ ආදායම් වෙනස සහ පාරිභෝගිකයන්ට ලැබුණු සැබෑ සහනය.
මීට අමතරව, සූර්ය විදුලි පිරිවැය, ඉන්ධන ඉතිරිය සහ විදේශ විනිමය ඉතිරිය ඇතුළත් කර ස්වාධීන හා විනිවිදභාවයෙන් යුතු පිරිවැය විශ්ලේෂණයක් සිදු කිරීමට අමාත්‍යවරයා සූදානම්දැයි විමසා ඇති විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය, මෙම කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයා හෝ අමාත්‍යාංශයේ වගකිවයුතු නිලධාරීන් සමඟ ප්‍රසිද්ධ මහජන විවාදයකට සහභාගී වීමටද සූදානම් බව දන්වා සිටී. විදුලිබල මණ්ඩලයේ පාඩුවේ වගකීම සූර්ය විදුලි නිපදවන ජනතාව මත හෝ විදුලි පාරිභෝගිකයන් මත පමණක් පැටවීම තම සංගමය පිළි නොගන්නා බවද සංජීව ධම්මික මහතා අවධාරණය කරයි.

