සාගර දත්ත මධ්‍යස්ථානය විවෘත කළද, මෙරට ධීවර ක්ෂේත්‍රයේ 40%ක නාස්තියක් සහ යාත්‍රා 1,000ක දත්ත හිඩැසක්!

වර්ග කිලෝමීටර් 517,000ක අතිවිශාල සාගර කලාපයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය, නවීන තාක්ෂණික මධ්‍යස්ථාන පිහිටුවීමත් සමඟ නව මාවතකට පිවිසෙමින් සිටියද, ක්ෂේත්‍රය තුළ පවතින බරපතල දත්ත හිඩැස් සහ පසු අස්වනු නාස්තිය හේතුවෙන් දැවැන්ත අර්බුදයකට මුහුණ දී සිටින බව නවතම සංඛ්‍යාලේඛන මගින් අනාවරණය වේ.

ලෝක ධීවර දිනයට සමගාමීව (19) කොළඹ, මට්ටක්කුලිය නාරා (NARA) ප්‍රධාන කාර්යාලයේදී ‘ශ්‍රී ලංකා ජාතික සාගර හා ධීවර දත්ත මධ්‍යස්ථානය’ (SOFDC) නිල වශයෙන් විවෘත කෙරිණි.

දකුණු කොරියානු රජයේ සහාය ඇතිව ඉදිකළ මෙම මධ්‍යස්ථානය හරහා මෙරට සාගර දත්ත පද්ධතිය නවීකරණය වුවද, බිම් මට්ටමේ පවතින ගැටලු ඊට දැඩි අභියෝගයක් වී තිබේ.

වසර 12ක පසුබෑම සහ 40%ක දැවැන්ත නාස්තිය

නාරා ආයතනයේ නිල දත්තවලට අනුව, 2014 වසරේ සිට මේ දක්වා ගත වූ වසර 12ක කාලය පුරා මෙරට මුහුදු මත්ස්‍ය අස්වැන්න අඛණ්ඩව පහත වැටෙමින් පවතී.

වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 400,000කට ආසන්න වුවද, නිසි ශීතාගාර පහසුකම් නොමැතිකම සහ ප්‍රවාහන දුර්වලතා නිසා ඉන් 40%ක් — එනම් වාර්ෂිකව මත්ස්‍ය ටොන් 160,000කට ආසන්න ප්‍රමාණයක් — පරිභෝජනයට පෙර නාස්ති වන බව හෙළි වී ඇත.

යාත්‍රා 1,000ක දත්ත අතුරුදන්

දත්ත කළමනාකරණයේ පවතින ප්‍රධානතම අර්බුදය වී ඇත්තේ ධීවර යාත්‍රා නිරීක්ෂණය කිරීමේ (VMS) පද්ධතියේ පවතින හිඩැස්ය. මෙරට ලියාපදිංචි බහුදින ධීවර යාත්‍රා 5,200 අතරින් VMS පද්ධති සවි කර ඇත්තේ යාත්‍රා 4,200කට පමණි. ඉතිරි යාත්‍රා 1,000ක පමණ ප්‍රමාණයක නිරීක්ෂණ දත්ත නොමැති වීම නිසා නීති විරෝධී ධීවර කටයුතු (IUU Fishing) පාලනය කිරීම සහ සැබෑ මත්ස්‍ය අස්වැන්න ගණනය කිරීම දුෂ්කර වී තිබේ.

මීට අමතරව, බහුදින යාත්‍රා මගින් පවත්වාගෙන යන ලොග්පොත්වල (Logbooks) සැබෑ අස්වැන්නට වඩා අඩු අගයන් වාර්තා කිරීමත්, මෝරුන් සහ කැස්බෑවුන් වැනි සංරක්ෂිත විශේෂ දැල්වලට හසුවීම (Bycatch) දත්ත පද්ධතිවලට ඇතුළත් නොකිරීමත් නිසා ජාතික දත්ත පද්ධතියේ නිරවද්‍යතාව පිළිබඳ ගැටලු මතු වී ඇත.

සෘජු රැකියා නියුක්තිකයන් 320,470කගේ සහ වක්‍රව යැපෙන මිලියන 2.7ක ජනතාවකගේ ජීවනෝපාය වන ධීවර කර්මාන්තය රැකගැනීම සඳහා නාරා ආයතනය 2026 වසරේදී පර්යේෂණ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 411.5ක් වෙන් කර තිබේ. එමෙන්ම මාළු ගැවසෙන ස්ථාන කල්තියා හඳුනා ගැනීමේ පුරෝකථන 111ක් නිකුත් කර ඇති අතර, ‘සයුරු’ ජංගම යෙදුම මේ වන විට ධීවර බෝට්ටු 2,500ක් විසින් භාවිත කරයි.

කෙසේ වෙතත්, නවීන SOFDC දත්ත මධ්‍යස්ථානය පිහිටුවීමෙන් පමණක් මෙම අර්බුදය විසඳිය නොහැකි බවත්, බිම් මට්ටමේ දත්ත රැස් කිරීමේ විනිවිදභාවය තහවුරු කිරීම, සියලුම යාත්‍රා නිරීක්ෂණ ජාලයට එක් කිරීම සහ ආයතන අතර දත්ත ඒකාබද්ධ කිරීම වහාම සිදු කළ යුතු බවත් ක්ෂේත්‍රයේ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Share.
Leave A Reply