අතිපූජ්‍ය බෙලිගල්ලේ සිරි ජිනවංශ මහානායක හිමිපාණන්ගේ ශාසනික හා සමාජයීය මෙහෙවර බිඳක්!
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසාත්, සමාජයේ යහපැවැත්ම උදෙසාත් සිය දිවියම කැප කළ ගාල්ල කළේගාන චේතියගිරි විහාරාධිපති,අතිපූජ්‍ය බෙලිගල්ලේ සිරි ජිනවංශ මහානායක හිමිපාණන් වහන්සේගේ අනූ පස් වැනි (95) ජන්ම දිනය මේ මස (2026 නොවැම්බර්) 21 වැනි දිනට යෙදී තිබේ.
ඒ නිමිත්තෙන් එදින ගාල්ල කළේගාන චේතියගිරි විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් ප්‍රදේශයේ මහා සංඝරත්නයේ සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් පින්කම් මාලාවක් සහ සන්ධ්‍යා කාලයේ විශේෂ ආශිර්වාදාත්මක පින්කමක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
අඟුල්මඩුව නම් වූ රමණීය ග්‍රාමයේ බෙලිගල්ල ගම්පියසේ නින්දගම් ලත් පරපුරක ඉඩම් හිමි, ගොඩ මඩ ගොවිතැන් කළ ගින්නලිය ඇතිගේ දොන් චාර්ලිස් හාමි මුදලාලි මහතාණන්ට සහ කෝලංගලගේ කුසුමාවති උභයරත්න මහෝපාසිකාවට දාව 1932 නොවැම්බර් 21 වැනි දින මෙලොව එළිය දුටු පින්වත් කුමරුට ‘ජී.ජී. අමරසේන’ යනුවෙන් නම් තැබිණි.
පවුලේ ඥාතීන්ගේත්, ගම්වැසියන්ගේත් ආදරය හා කරුණාව මැද කෙළිදෙලෙන් හැදී වැඩුණු අමරසේන දරුවා, අඟුල්මඩුව අභයසිරිනාරායනාරාමයේ විහාරාධිපති වාඩියේ සුමංගල හිමිපාණන්ගෙන් අත්පොත් තබා, පාසලෙන් මෙන්ම සුචරිතෝදය දහම් පාසලෙන් ද සිය මූලික අධ්‍යාපනය ලබා ගත්තේය.
ජිනවර වංසාලංකාර කැබීලියගොළ සිරි ධම්මරතනාභිධාන නාහිමියන්ගේ ශිෂ්‍ය රත්නයක් ලෙස 1945 නොවැම්බර් 02 වැනි දින පෙරවරුවේ දෙමව්පියන්ගේ හා ඥාතීන්ගේ ආශිර්වාදය මැද අඟුල්මඩුව අභයසිරිනාරායනාරාමයේදී ‘බෙලිගල්ලේ ජිනවංශ පොඩි හාමුදුරුවෝ’ නමින් උන්වහන්සේ පැවිදි දිවියට ඇතුළත් වූහ.
එතැන් පටන් ආගම දහමට ලැදිව කටයුතු කළ උන්වහන්සේ 1946 ජුනි 20 වැනි දින වැඩිදුර අධ්‍යාපනය සඳහා ගාල්ල කළේගාන චේතියගිරි විහාරයට වැඩම කළහ.
අනතුරුව 1954 ජුනි 03 වැනි දින පානදුර නදී උපකුඛ්ය සීමාවේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබීමට භාග්‍යවන්ත වූහ. උසස් අධ්‍යාපනය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ උන්වහන්සේ 1964 වසරේදී විශේෂ ශාස්ත්‍රවේදී උපාධිය දිනා ගත්හ.
1956 වසරේ සිට පිරිවෙන් මෙන්ම රජයේ පාසල් ගණනාවක ද ගුරු හිමි නමක් ලෙස සේවය කරමින් දැයේ දරුවන්ගේ නැණස පෑදීමට උන්වහන්සේ කැප වූහ.
ගුරු සේවයෙන් නොනැවතුණු උන්වහන්සේ, පොත්පත් ලේඛකයෙකු හා ධර්ම දේශකයෙකු ලෙස ද සුවිශාල මෙහෙවරක් ඉටු කළහ.
පිරිවෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ සුබසාධනය වෙනුවෙන් කටයුතු කරමින් ද, ගමේ පන්සලේ සමිති සමාගම් මෙහෙයවමින් ද අද දක්වාම උන්වහන්සේ සමාජයට මහඟු ආදර්ශයක් සපයති.
එමෙන්ම, සසුන් කෙත ඉදිරියට පවත්වාගෙන යාම සඳහා විනයගරුක, සිල්වත් සහ උගත් ශිෂ්‍ය පරපුරක් සසුනට දායාද කිරීමට ද උන්වහන්සේ සමත් වී ඇත.
සසුන් කෙත එකලු කරන අතිපූජ්‍ය බෙලිගල්ලේ සිරි ජිනවංශ මහානායක හිමිපාණන් වහන්සේට තවදුරටත් ශාසනික හා සමාජයීය මෙහෙවර ඉටු කිරීමට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

