2027 අයවැය යෝජනාවලිය මගින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ (PHI) සේවය සහ ඔවුන් මුහුණ දෙන දැවැන්ත රාජකාරී දුෂ්කරතා සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති බව පවසමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය බලවත් අප්‍රසාදය පළ කර තිබේ.  

සංගමයේ ගරු ලේකම් සී.එස්. මුතුකුඩ මහතාගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති විශේෂ ලිපියක් මගින් පෙන්වා දී ඇත්තේ, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සහ පළාත් පාලන දෙපාර්තමේන්තුවට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,400ක් පමණ දිවයින පුරා අතිශය දුෂ්කරතා මධ්‍යයේ සේවය කරන බවයි. 

එම ලිපිය මගින් සංගමය ප්‍රධාන කරුණු තුනක් පිළිබඳව රජයේ අවධානය යොමු කර ඇත.

කාර්යාල දීමනා නොසලකා හැරීම යටතේ ,එක් ග්‍රාම නිලධාරී වසමකට පමණක් සීමා වූ අනෙකුත් ක්ෂේත්‍ර නිලධාරීන්ගේ කාර්යාල දීමනාව මෙවර අයවැයෙන් ඉහළ නංවා ඇතත්, ග්‍රාම නිලධාරී වසම් 10ත් 20ත් අතර අතිවිශාල ක්ෂේත්‍රයකට වගකියන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කාර්යාල දීමනාව වැඩි කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැත.

ඔවුන්ට දැනට හිමිවන්නේ නාගරික ප්‍රදේශ සඳහා රුපියල් 1,500ක් සහ ග්‍රාමීය ප්‍රදේශ සඳහා රුපියල් 750ක් වැනි ඉතා සුළු කාර්යාල දීමනාවක් පමණි.  

ගමන් වියදම් දීමනා කප්පාදුව ගැනත් ලෙඩක්ලු

විශාල බලප්‍රදේශයක් ආවරණය කරමින් දිනකට කිලෝමීටර් 100ක් පමණ ගමන් කරමින් රාජකාරී කරන තම නිලධාරීන්ගේ ගමන් වියදම් දීමනාව පිළිබඳව ද මෙවර අයවැයෙන් කිසිදු සඳහනක් කර නොමැති බව සංගමය චෝදනා කරයි. 

යතුරු පැදි ලබා නොදීම පියපත් වලින් යන්න ද ?

යතුරු පැදි ලැබීමට සුදුසුකම් සපුරා ඇතත් මෙතෙක් යතුරුපැදි නොලැබුණු සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඒවා ලබාදීමේ වැඩපිළිවෙළක් ද මෙවර අයවැයට ඇතුළත් වී නොමැත.  

මෙම ගැටළු පිළිබඳව මීට පෙරද ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන් දැනුවත් කර තිබියදීත් මෙවර අයවැයෙන් ඊට විසඳුම් ලබා නොදීම බරපතළ තත්ත්වයක් බව පවසන සංගමය, 2027 අයවැය තුළින්ම මෙම ගැටළුවලට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.  

මෙම ලිපියේ පිටපත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ද යොමු කර ඇති බව සී.එස්. මුතුකුඩ පවසයි.    

Share.
Leave A Reply