රටේ සමස්ත ජනතාවම හරිත බලශක්තිය වෙත යොමු වීමට අපේක්ෂා කරන මේ මොහොතේ, ගෘහස්ථ සූර්ය බලශක්ති පද්ධති සඳහා පනවා ඇති අධික බදු ප්‍රතිශත හේතුවෙන් සාමාන්‍ය පාරිභෝගිකයා සහ මධ්‍යම පාන්තික වැටුප් ලබන්නා දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බවට විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක සංජීව ධමිමික මහතා පවසයි.

අද (12)  පැවති මාධ්‍ය හමුවේදි මොහු මෙසේද කීය.

මැතිවරණ වේදිකාවේදී පුනර්ජනනීය බලශක්තිය සඳහා පුළුල් බදු සහන ලබා දෙන බවට පොරොන්දු වුවද, එළඹෙන අයවැය හරහා සූර්ය බැටරි සඳහා ලබා දීමට සූදානම් වන්නේ 10%ක සොච්චම් බදු සහනයක් පමණක් බව විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරයි.

පවතින බදු බරෙහි දැවැන්ත ස්වරූපය:

සූර්ය පැනල (Solar Panels): 22.5%

ඉන්වර්ටර් (Inverters): 24.5%

සූර්ය බලශක්ති බැටරි (Solar Batteries): 24.5%

අකුණු ආරක්ෂණ උපාංග (SPD): 57.5%

කේබල් (Cables): 52.5%

පී.වී.සී. උපාංග (PVC): 22.5%

මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ ඒකාධිකාරී ජාලයන්ට පමණක් දැවැන්ත බදු සහන පුදමින්, සාමාන්‍ය ජනතාවගේ නිවාසවල වහල මත සවිකරන සූර්ය බලශක්ති අයිතිය යටපත් කිරීමට දරන උත්සාහය ජනතා විශ්වාසය පාවා දීමක් බව විචාරකයින් සහ පාරිභෝගිකයෝ පෙන්වා දෙති.

එබැවින්, ජනතාවට දුන් පොරොන්දු කඩ නොකර, අයවැයට පෙර මෙම අසාධාරණ බදු ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම ඉවත් කර සාමාන්‍ය ජනතාවට සහන සලසන ලෙසට බලධාරීන්ට දැඩි අනතුරු ඇඟවීමක් කරනු ලැබේ.

Share.
Leave A Reply