සමගි ජන බලවේගය ආණ්ඩුවේ අසාර්ථකත්වය හෙළි කරයි: “වසර දෙකයි – රටට අසුබයි” (තිස්ස අත්තනායක)
සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී මෙසේ ද කීය.
තිස්ස අත්තනායක මහතා:පොලොන්නරුවේ සමගි ජන බලවේගයේ ප්‍රවර්ධන වැඩසටහන ඉතාමත් සාර්ථකයි.
විශේෂයෙන්ම කියන්න ඕනේ පොලොන්නරුවේ පළාත් පාලන කොට්ඨාස 99ක අපි ඒ දැනුවත් කිරීමේ වැඩසටහනක් කළේ. විශේෂයෙන්ම ආණ්ඩුවේ දූෂණය, හොරකම, වංචාව පිළිබඳව සහ ඒ පළාත්වල ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට ආණ්ඩුව විසඳුම් හොයන්නේ නැති නිසා ඒ පිළිබඳව කතා කරන්න තමයි ගියේ. ඒ ගියාම අපි දැක්කා ඇත්තටම පොලොන්නරුවේ මිනිස්සු මොන තරම් පීඩනයකට මුහුණ දීලා තියෙනවාද කියලා. විශේෂයෙන්ම වී ටිකට සාධාරණ මිලක් නැහැ. තමන්ගේ අස්වැන්න විකුණගන්න විදිහක් නැහැ.
එතකොට මෙවැනි අර්බුද පමණක් නෙවෙයි, ජීවත් වීම පිළිබඳව බරපතල ගැටලුත් තියෙනවා. මොකද ජීවන වියදම ඉතාමත් විශාල ලෙස ඒ හැම තැනටම බලපාලා තියෙනවා. ඉතින් දැඩි දුෂ්කරතාවය මැද තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. ඒ වගේම, ඇත්තටම ජාතික ජන බලවේගය පිළිබඳව විශාල බිඳවැටීමක් ක්‍රමානුකූලව ගොඩනැගෙනවා කියන එකත් අපිට ගිහින් අවබෝධ වුණා. මොකද මිනිස්සු දැන් පැහැදිලිව එළියට බැහැලා එන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් දැන් ආණ්ඩුවට අවුරුදු දෙකයි.
මේ අවුරුදු දෙකක කාලය තුළ මේ බිඳවැටීම ආණ්ඩුවට ඇතිවෙලා තිබෙන්නේ ඉතාමත් පැහැදිලියි, ඔවුන් බොරු පොරොන්දු දීලා බොරුවට රවට්ටලා බලයට පත්වුණු නිසා. මාධ්‍යවේදී: ආණ්ඩුවට අවුරුදු දෙකයි, රටට සුබයි.තිස්ස අත්තනායක මහතා:ඒගොල්ලෝ කියන කතාවක්නේ, “වසර දෙකයි රටට සුබයි” කියලා. හැබැයි බිමට බැහැලා බැලුවොත් ඒ බිම් මට්ටමේ ජනතාව කියන්නේ ඕකේ අනිත් පැත්ත.
ඒගොල්ලන්ට අවුරුදු දෙකයි, අපිට අසුබයි කියලා. මොකද හේතුව, හැම ක්ෂේත්රයකම විශාල බිඳවැටීමක් වාර්තා වෙනවා. බලන්න දැන් ජීවන වියදම පාලනය කරන්න ආණ්ඩුව කිසිම පියවරක් ගත්තේ නැහැ. ඒ වගේම නාස්තිය, දූෂණය, හොරකම නැති කරනවා කියලා කිව්වට ඒවා මහා පරිමාණයෙන් සිදුවෙන තත්ත්වයකට පත්වෙලා.
ඒ වගේම රටේ මූල්‍ය අර්බුදයක් තවමත් තියෙනවා කියලා මම නෙවෙයි කියන්නේ, මහ බැංකුවේ අධිපතිවරයා කියනවා. නිශ්චිත සංචිත ඉලක්ක සම්පූර්ණ කරගන්න බැරිවෙලා තිබෙනවා. එතකොට ලබන අවුරුද්දේ ඉදලා අපිට තියෙන ආර්ථික අර්බුදය, ණය ගෙවීම, මේවට දෙන සූදානමක් ආණ්ඩුවට නැහැ. හැබැයි කයිවාරු ගහමින් ආණ්ඩුව තවත් බොරුවෙන් ජීවත් වෙන්න උත්සාහ කරනවා, එච්චරයි වෙලා තියෙන්නේ. සැබෑ තත්ත්වය බලන්න ඕන නම් පොලොන්නරුව වගේ ප්‍රදේශවලට ගිහිල්ලා ඒ ගොවි ජනතාව හම්බවෙන්න ඕනේ.
මාධ්‍යවේදී: ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩි වුණා…
තිස්ස අත්තනායක මහතා:ඔව් ඉතින් රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලයේ පෙට්‍රල් ලීටරයක් 300 ගණනකට දෙනකොට අනුර කුමාර දිසානායක මහතා මොකක්ද කිව්වේ? “ජාත්‍යන්තර අර්බුද අපිට අදාළ නැහැ. සිංගප්පූරුවේ ප්ලැට්ස් රේට් එකට ප්‍රීමියම් එක ඩොලර් දෙකක් තුනක් එකතු කරලා වරායට ගොඩබාන මිලට අපි තෙල් ටික දෙනවා” කියලා කිව්වේ. අපි අහන්නේ දැන් වරායට ගොඩබාන මිලට තෙල් ටික දෙන්න ආණ්ඩුව අර ඒගොල්ලෝ අයකළ බදු ටික පැත්තකින් තියලා දෙන්න එපැයි. මම දැක්කා ඉන්දික රත්නායක මහතා කියනවා,
“ලෝක වෙළඳපොළේ වැඩිවෙන මිල පාලනය කරන්න තමයි භාණ්ඩාගාරය අපිට තියෙන්නේ”. එතකොට ආණ්ඩුව මොකක්ද යුතුකම තියෙන්නේ? ආණ්ඩුව තියෙන්නේ වැඩිවෙන වෙලාවට වැඩි කරන්නත්, අඩුවෙන වෙලාවට අඩු කරන්නත් නෙවෙයි කියලා ඒගොල්ලෝමනේ කිව්වේ.
එහෙනම් භාණ්ඩාගාරයේ පුරවලා සල්ලි තියෙනවා නම්, මේ යුද්ධය තාවකාලික තත්ත්වයක් නම්, ඒක පාලනය කරන්න භාණ්ඩාගාරය මැදිහත් වෙන්න ඕනේ. ඉතින් භාණ්ඩාගාරයේ මැදිහත්වීම සාධාරණ ලෙස සිදුවෙනවාද? නැහැ. ඉතින් ඒක නිසා නිදහසට කරුණු කියන්න නායකයෝ හෝ ආණ්ඩුව ඕන නැහැ. අපිට “මැදපෙරදිග යුද්ධය නිසා අපිට මෙහෙම වෙනවා” කියලා කියන්න ඕන නැහැ නායකයෝ. මොකද ඒගොල්ලෝ කිව්වනේ “අපි මැදපෙරදිගින් නෙවෙයි තෙල් ගන්නේ, සිංගප්පූරුවෙන්” කියලා. එතකොට එහෙම නම් සිංගප්පූරුවේ නියම වෙලා තියෙන මිලට, ප්‍රීමියම් එක ඩොලර් දෙක තුනක් එකතු කරලා, මෙහෙ වරායට ගොඩබාන මිලට දෙන්න පුළුවන්.
තාමත් හැම තෙල් ලීටරයකටම ආණ්ඩුව අයකළ බද්ද එලෙසම අයකළ ගමන් තමයි මේ තෙල් ටික විකුණන්නේ. එතකොට අපි අහන්නේ ආණ්ඩුව මිල ගණන් වැඩිවීම සිදුවෙද්දීත් මේ රටේ ජනතාව හූරාගෙන කන තත්ත්වයකට පත්වෙලා නෙවෙයිද මේ තෙල් මිල හරහා?
මාධ්‍යවේදී: ගොවියෝ පාරට බහිනවා මොකක් හරි කිව්වේ… බහින්න පුළුවන්ද?
තිස්ස අත්තනායක මහතා:ඇත්තටම ගොවි ජනතාව දැන් ඔවුන් දේශපාලන න්‍යාය පත්‍රයකින් තොරව, ඕනට මුහුණපාන දැවැන්ත අර්බුදය ගැන රටට කරුණු කියන්න, ආණ්ඩුවට කරුණු කියන්න දැනටමත් විරෝධතා පටන් අරගෙන තියෙනවා. මම හිතන්නේ ලබන කන්නයේ ඉතාමත් නරක තත්ත්වයකට මේක පත්වෙයි. මොකද ලාල් කාන්තලා, නාමල් කරුණාරත්නලා ගොවීන්ට කියපු බොරු තොගය දැන් ජනතාව එළිපිට කතා කරන්න පටන් අරන් තියෙනවා. මම දැක්කේ නැහැ මේ වගේ ආණ්ඩුවකට එල්ලවුණු මේ තර්ජනය සහ විවේචනය වෙන කිසිම ආණ්ඩුවකට එල්ල වෙනවා කියලා.
මොකද වී කිලෝ එකක් තාමත් රුපියල් 85යි 90යි අතර. එතකොට 120ට ගන්නවායි කිව්වට කිසිම රාජ්‍ය ආයතනයක් මැදිහත්වෙලා පෞද්ගලික මැදිහත්වීමකින් වී ටික ගන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ට අවශ්‍ය පොහොර සහ රසායනික ද්‍රව්‍යවලට සාධාරණ මැදිහත්වීමක් ආණ්ඩුව කරන්නේ නැහැ. එතකොට ඒ නිසා ගොවි ජනතාව පාරට බහින එක වලක්වන්න බැහැ.
ඇත්තටම ඉදිරි කාලයේ ගොවිතැන අතහැරලා යන මට්ටමකටත් පත්වෙන්න පුළුවන්. මොකද තමන්ගේ නිෂ්පාදනය සඳහා, ඒ කියන්නේ ගොවීන් තමන්ගේ කටයුතුවලින් තමන්ට ආදායම ලබාගැනීමට තියෙන අවස්ථාව හුඟක් අඩුයි. ඒ කියන්නේ පාඩුයි. එතකොට තමන්ගේ ශ්‍රමය ගණන් හදන්නේ නැතුව, පවුලේ මැදිහත්වීම ගණන් හදන්නේ නැතුව තමයි මේ වී ටික දීලා සල්ලි ටික අරගෙන කොහොමහරි ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. හැබැයි ණයකාරයෝ වෙලා. දැන් බලන්න රත්තරන් බඩු ටික මිනිස්සුන්ගේ කරේ තියෙනවාද කියලා. දැන් කිව්වේ “කරාඹුව තියෙනවාද, මාලය තියෙනවාද, මුද්ද තියෙනවාද ජනතාවගේ?” කියලානේ ඇහුවේ. දැන් මම දැක්කා පොලොන්නරුව ප්‍රදේශයේ එහෙම මිනිස්සු කියනවා “අපේ කනකර බඩු ටික උගස් කරලා තමයි මේ දවස් ටිකේ අපි ජීවත් වෙන්නේ” කියලා.
ඒක තමයි ඇත්ත කතාව. ඒක තේරුම් ගන්නේ නැතුව ආණ්ඩුව කයිවාරු ගහගෙන යන්න පුළුවන්. හැබැයි එකක් තියෙනවා, මේ පිපිරීම ළඟදීම ආරම්භ වෙනවා.
මාධ්‍යවේදී: වෘත්තීය සමිති පාරට බහින්න හදනවා…
තිස්ස අත්තනායක මහතා:
මම දැක්කා ඒ වෘත්තීය සමිතියේ ඒකාබද්ධව යම් විරෝධතා ව්‍යාපාරයකට යනවා. ඉතින් ඒගොල්ලන්ගේ මුහුණපාන මූලික ප්‍රශ්නවලට උත්තර දෙන්න ආණ්ඩුව ලෑස්ති නැහැනේ. මේක කිව්වේ “කම්කරුවන්ගේ ආණ්ඩුවක්” කියලා. “වැඩකරන ජනතාවගේ ආණ්ඩුවක්” කියලා. අර කලින් ආණ්ඩුවල ඇමතිවරු වගේ උද්ධච්ච ආණ්ඩු නෙවෙයි කියලයි කිව්වේ. හැබැයි දැන් ඒ ආණ්ඩුවල හිටපු ඇමතිවරුන්ටත් වඩා උද්ධච්ච ඇමතිවරු, උද්ධච්ච ආණ්ඩුවක් තමයි මේ තියෙන්නේ. කිසි දේකට ඇහුම්කන් දෙන්නේ නැහැ. ඒගොල්ලෝ හැම දෙයක්ම දන්නවා කියන එකේ යන්නේ.
මම දැක්කා ඊයේත් ප්රවෘත්ති සාකච්ඡා කීපයක මේ ගැන සඳහන් වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ වෘත්තීය සමිති විතරක් නෙවෙයි, මේ රටේ සෑම ක්ෂේත්රයකම නියැලී ඉන්න කණ්ඩායම්, ගොවීන්ගේ ඉඳලා මුළු කණ්ඩායම් හැම එකක්ම මේ විරෝධතාවලට අනිවාර්යයෙන්ම මැදිහත් වෙයි. මොකද ආණ්ඩුවට වෙන ක්‍රමයක් නැහැ කියලා දෙන්න.
මාධ්‍යවේදී:
සජබෙයි එජාපෙයි එකතු වෙලා දිනන්න බැහැ කියලා…
තිස්ස අත්තනායක මහතා:
නැහැ, ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහත්තයා කියපු කතාවේ වරදක් නැහැ. එතුමා කිව්වේ ඒ කතාව නෙවෙයි, ඒක පොඩ්ඩක් අර මාධ්‍යයේ ප්‍රචාරය වෙනකොට කෑලි කෑලි ඒහෙට මෙහෙට හැරිලා යන්නේ.
රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වේ යථාර්ථය, ඉස්සරහට ඇවිල්ලා අපි මුහුණදෙන්න තියෙන තත්ත්වය. ඒක තමයි එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගයත් එකට එකතුවීම අවශ්‍යයි. එතකොට ඒක විතරක් නෙවෙයි අපිට තියෙන ඉලක්කය. අපිට තියෙනවා ඉස්සරහට අලුත් පරම්පරාව එකතු කරගන්න.
මොකද ඒ ජෙනරේෂන් එක අපිට එකතු කරගන්න ඕනේ, මොකද හැම අවුරුද්දකම වැඩිවෙන විශාල ඡන්ද ප්‍රමාණයක් තියෙනවා. දස ලක්ෂයක් විතර ඡන්ද වැඩිවෙනවා.
එතකොට ඒ වැඩිවෙන දස ලක්ෂය වගේ ඡන්ද ප්‍රමාණය, තරුණ පරම්පරාවේ ඒ Gen Z එකේ ඡන්ද ටික අපි හරවා ගන්න ඕනේ. ඒ අයට තමයි ආරාධනය කරන්න ඕනේ කියලා. ඒක ඇත්ත. සම්ප්‍රදායික දේශපාලන පක්ෂවල මේ තියෙන තත්ත්වය දැන් ක්‍රමානුකූලව අපි හැමෝම දන්නවා යම් ආකාරයක අඩුවීමක් සිදුවෙමින් තිබෙනවා.
අලුත් පරම්පරාව සම්ප්‍රදායික දේශපාලන තත්ත්වය වගේ බැඳිලා, ඒකේ හිටගෙන, අපි පරම්පරාවෙන් අහවල්ලු, පරම්පරාවෙන් අහවල්ලු කියලා කියන්නේ නැහැ. ඒ නිසා අලුත් පරම්පරාව නිදහසේ ඡන්දය ප්‍රකාශ කරන්නේ. ඒකයි අපි කියන්නේ, ඇත්ත, අපේ දෙපාර්ශවයේ එකතුවීම ඉතාමත් ශක්තිමත් පදනමක් වැටෙයි.
ඒ කියන්නේ 2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය දිහා බලලා හැමෝම දැන් කියන්න පටන් අරන් තියෙනවා එක්සත් ජාතික පක්ෂයයි සමගි ජන බලවේගයයි එකට එකතු වුණොත් අනුරලාට කැලේ කියලා.
ඇත්තටම ඒක හරි. හැබැයි ඊළඟ ඡන්දය 2029 එනකොට අපි අලුත් ඒ පරම්පරාවේ ඡන්ද ප්‍රමාණය, Gen Z එකේ ඡන්ද ප්‍රමාණයත් අපිට ඒකරාශී කරගන්න ඕනේ. එතන ඇතිවෙන වැඩිවෙන ප්‍රමාණය ඒ වැඩි කරගත්තොත් අපි තවත් ශක්තිමත් කියන එකයි ඒ කිව්වේ. ඒක ගැන මම නම් දකින්නේ නැහැ වරදක්.

