ඌන වැටහීම් බිඳ වැටෙන සෙම්මනි කතාව!චෙම්මනි සුසාන භූමිය ගැඹුරු සමාජ-දේශපාලන කතිකාවකට මඟ පාදයි!

යාපනයේ චෙම්මනි (අරියාලෙයි සෙම්මනි සින්දුබාති හින්දු සුසාන භූමිය) සම්බන්ධයෙන් මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් ඉදිරිපත් කරන ලද තාවකාලික වාර්තාව (Third Interim Report) මුල් කරගනිමින් ‘සර්වජන බලය’ යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධර්ත් මහතා විසින් මතු කරන ලද කරුණු හරහා මෙරට දේශපාලන හා සමාජීය ක්ෂේත්‍රය තුළ අතිශය සංවේදී සහ පුදුම සහගත මානයක් විවර වී තිබේ.

ජාත්‍යන්තර ප්‍රචාරක යාන්ත්‍රණයන් සහ දේශපාලන අරමුණු මත පදනම් වූ බොරු මත බිඳ හෙළමින්, මෙම වාර්තාව සහ ඒ වටා ඇති පසුබිම පහත ප්‍රධාන කරුණු 05 ඔස්සේ ඉතා පැහැදිලිව ගෙන හැර දැක්විය හැක.

1. සාක්ෂිවල ප්‍රමාණවත් නොවීම සහ සාම්ප්‍රදායික සුසාන ස්වභාවය

මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ වාර්තාවේ 17 වන පිටුවේ “Ultimate Observational Summary” මඟින් ඉතා පැහැදිලිව පෙන්වා දී ඇත්තේ, කැණීම් මඟින් හමු වූ ද්‍රව්‍යමය සාක්ෂි පමණක් පදනම් කරගෙන මරණවල ස්වභාවය පිළිබඳව නිශ්චිත නිගමනයකට පැමිණීමට තරම් සාක්ෂි තවමත් ප්‍රමාණවත් නොවන බවයි.

කෙසේ වෙතත්, කොසෝවෝ, සරාජිවෝ හෝ කාම්බෝඩියාව වැනි රටවල වාර්තා වී ඇති නීති විරෝධී රහසිගත මිනීවලවල්වලට (Clandestine burial sites) වඩා, මෙම ස්ථානය සාමාන්‍ය මිනිසුන්ගේ ආගමික හා විධිමත් චාරිත්‍රානුකූල මිනී වැළලීමේ ක්‍රමවේදයන්ට (Formal burial practices) දැඩි සමාකූලතාවක් දක්වන බව එහි සඳහන් වේ.

2. ළමා මෘත දේහ බහුල වීම පිටුපස ඇති හින්දු චාරිත්‍ර සහ කුල ක්‍රමය

වාර්තාවට අනුව හමුවී ඇති මෘත දේහ අතර 41%ක් දරුවන් සහ 22%ක් ළදරුවන් (මුළු එකතුවෙන් 63%ක් කුඩා දරුවන්) වීම විශේෂත්වයකි. හින්දු සම්ප්‍රදායන්ට (මනුස්සමෘති ඇතුළු මූලාශ්‍ර) අනුව වයස අවුරුදු 12 ට අඩු දරුවන් ආදාහනය නොකර භූමදානය කිරීම සිදු කෙරේ.

මීට අමතරව, ඓතිහාසික වශයෙන් උතුරු පළාතේ පැවති කුලවාදය සහ සමාජ ක්‍රමවේදයන් (ප්‍රොෆෙසර් රවීන්ද්‍රන්ගේ ග්‍රන්ථ සහ 1707-1844 කාලයේ නීති පද්ධතීන් මඟින් පෙන්වා දී ඇති පරිදි) අනුව, ඇතැම් කුලවල මළ සිරුරු ආදාහනය කිරීම තහනම් කර තිබූ අතර ඒවා භූමදානය පමණක් සිදු විය.

ක්‍රිශාන්ති කුමාරස්වාමි ඝාතනය වැනි සිදුවීම් මෙම කනත්තට සම්බන්ධ කිරීමට ඇතැමුන් උත්සාහ කළද, භූගෝලීය වශයෙන් එම ස්ථාන අතර කිලෝමීටර් ගණනක දුරක් පවතී.

3. ඩොලර් මත පදනම් වූ ජාත්‍යන්තර ප්‍රචාර සහ දේශපාලන කුමන්ත්‍රණ

මීට පෙර මන්නාරම සතෝස ගොඩනැගිල්ල ආශ්‍රිතව හමුවූ ඇටසැකිලි ඇමරිකාවේ මියාමි හි (Beta Analytic Testing Laboratory) කාබන්-14 පරීක්ෂණවලට ලක්කළ විට ඒවා ක්‍රිස්තු වර්ෂ 1400 ත් 1450 ත් අතර කාලයට අයත් පැරණි ඒවා බව තහවුරු විය. එල්ටීටීඊ ප්‍රචාරක යාන්ත්‍රණය සහ ලෝකයේ විවිධ රටවල (ඇෆ්ගනිස්තානය, ඉරාකය, ලිබියාව ආදී) අධිරාජ්‍යවාදීන් මෙන්ම, නෝර්වේ වැනි රටවල් ආයුධ නිෂ්පාදනය කරමින් එක පැත්තකින් සාමය විකිණූ ආකාරය උදාහරණ ලෙස පෙන්වා දෙමින්, මෙවැනි කරුණු මුල් කරගෙන රට පාලනය කිරීමට සහ ජාත්‍යන්තර විමර්ශන ඉල්ලා සිටීමට එරෙහි වෙයි.

4. දේශීය යුධ සමයේ සැබෑ අතුරුදහන්වීම් සහ වගකීම

කථිකයාගේ පවුලේ සාමාජිකයන් (බිරිඳගේ තාත්තා සහ මාමලා තිදෙනෙක්) 1990 වසරේදී එල්ටීටීඊ සංවිධානය විසින් අතුරුදහන් කර ඇති බව සිහිපත් කරයි.

සැබෑ අතුරුදහන්වීම් සිදුවූ ස්ථාන (උදාහරණයක් ලෙස මුලතිව් තුනුක්කායි හි පිහිටි කොටි සංවිධානයේ වධකාගාර – Auschwitz වැනි කෑම්ප්) අදටත් උතුරේ පවතින බවත්, සැබෑ වින්දිතයන්ට යුක්තිය ඉටු විය යුත්තේ එම සත්‍යය මත පදනම්ව බවත් අවධාරණය කෙරේ.

5. රටම මවිතයට පත් කරන විද්‍යාත්මක සත්‍යය සහ සමාජ කතිකාව

චෙම්මනි සුසාන භූමිය ජාත්‍යන්තර අපරාධයක් හෝ රහසිගත මිනීවලක් ලෙස හංවඩු ගසමින් රට තුළ ජාතිවාදී හා දේශපාලන ගිනිදැල් පත්තු කිරීමට උත්සාහ කළ ඇතැම් පාර්ශ්වයන්ගේ උත්සාහය, මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ විද්‍යාත්මක වාර්තාව සහ ඓතිහාසික සමාජ පසුබිම හමුවේ සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබීම මෙහි ඇති වඩාත්ම පුදුම සහගත හා වැදගත් සත්‍යයයි.

Share.
Leave A Reply