1. ගල්කිස්සේදී අවන්හල් හිමිකරුට වෙඩි තබා ඝාතනය කරයි!

සොයිසාපුර ප්‍රදේශයේ අවන්හලක හිමිකරුවෙකුට (49) කාර් රථයකින් පැමිණි පිරිසක් T-56 ගිනි අවියකින් වෙඩි තබා පලාගොස් ඇත. වෙඩි වැදීමෙන් ආහාර ගනිමින් සිටි කාන්තාවක් ද තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

2. ත්‍රිකුණාමලයේදී නිවාඩු නිකේතන හිමිකරුගේ ගෙල කපා ඝාතනය කරයි!

ත්‍රිකුණාමලය 04 කණුව හන්දියේ පිහිටි නිවාඩු නිකේතනයක සිටි 56 හැවිරිදි හිමිකරු තනිව සිටියදී කිසියම් පිරිසක් විසින් ගෙල කපා ඝාතනය කර ඇත. ඝාතකයින් සෙවීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

3. ටෙලිග්‍රෑම් හරහා ලක්ෂ 13ක අන්තර්ජාල මුදල් වංචාවක් – සූරියවැවින් සැකකරුවෙක් අත්අඩංගුවට!

අන්තර්ජාල ව්‍යාපාරවලින් මුදල් ඉපැයිය හැකි බව පවසා රු. 1,357,220ක මුදලක් වංචා කිරීමේ සිද්ධියකට සම්බන්ධ 26 හැවිරිදි තරුණයෙකු පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

4. වත්තලදී ත්‍රීරෝද රථ සොරකම් ජාලයක් කොටු – එන්ජින් 5ක් සහ චැසි 2ක් සමඟ දෙදෙනෙක් දැලේ!

බම්බලපිටියෙන් සොරකම් කරන ලද ත්‍රීරෝද රථයක් සම්බන්ධයෙන් කළ විමර්ශනයකදී ත්‍රීරෝද රථ එන්ජින් 05ක්, චැසි 02ක්, යතුරුපැදියක් සහ අංක තහඩු රැසක් සමඟ 25 සහ 28 වියැති සැකකරුවන් දෙදෙනෙකු වත්තලදී අත්අඩංගුවට ගෙන ඇත.

5. කුඹුරේ වැඩ කරමින් සිටි කාන්තාවන්ට අකුණු සැර වැදී දෙදෙනෙකු ජීවිතක්ෂයට!

කල්ලංචිය, නබඩගස්වැව ප්‍රදේශයේ කුඹුරක වැඩ කරමින් සිටි කාන්තාවන් තිදෙනෙකුට අකුණු සැර වැදීමෙන් 26 සහ 58 වියැති කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇත. අනෙක් කාන්තාව අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබයි.

6. T-56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 16ක් සමඟ සැකකරුවෙක් අඟුරුවාතොටදී අත්අඩංගුවට!

දෙල්ගහවත්ත ප්‍රදේශයේදී බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ වැටලීමකදී T-56 ගිනි අවියක්, මැගසිනයක් සහ ජීව උණ්ඩ 16ක් සමඟ 32 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

7. පෑලියගොඩදී රුපියල් කෝටි ගණනක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1.5ක් සමඟ අයෙක් කොටු!

දුටුගැමුණු මාවත ප්‍රදේශයේදී කොළඹ දිසා අපරාධ කොට්ඨාසය කළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 506ක් සමඟ 48 හැවිරිදි පෑලියගොඩ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

8. වාද්දුවේදී නීති විරෝධී මත්පැන් පෙරීමට තිබූ ගෝඩා ලීටර් 5000ක් අල්ලයි!

වාද්දුව, කැකුණගහ තොටුපල ප්‍රදේශයේදී බැරල් 28ක අඩංගු කර තිබූ නීති විරෝධී ගෝඩා ලීටර් 5068ක් සමඟ 36 හැවිරිදි සැකකරුවෙකු වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

9. මුතුරාජවෙලදී නීති විරෝධී මත්පැන් බෝතල් 225ක් සහ ගෝඩා බැරල් 20ක් සමඟ තිදෙනෙක් දැලේ!

පමුණුගම පොලිසිය මුතුරාජවෙල සහ අලුත් අක්කරය ප්‍රදේශවල කළ වැටලීම් දෙකකදී මත්පැන් ලීටර් 168ක් (බෝතල් 225), ත්‍රීරෝද රථයක් සහ ගෝඩා ලීටර් 3780ක් සමඟ සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

10. පෑලියගොඩ පට්ටිය ප්‍රදේශයේදී කසිප්පු බෝතල් 100ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට!

තොරතුරු: වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් සිදුකළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් ලීටර් 75ක් (බෝතල් 100) සමඟ 43 හැවිරිදි කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

11. මාරවිලදී කසිප්පු බෝතල් 315ක් සමඟ සැකකරුවෙක් මාට්ටු!

මාරවිල, මුටි බැඳිවිල ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් ලීටර් 236ක් (බෝතල් 315) සන්තකයේ තබාගෙන සිටි 52 හැවිරිදි යටකලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මාරවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

12. බුලත්සිංහලදී යතුරුපැදියක ගැටී පදිකයෙකු ජීවිතක්ෂයට!

හොරණ – මතුගම මාර්ගයේ ඈගල්ඔය ප්‍රදේශයේදී මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකු යතුරුපැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් 54 හැවිරිදි ගෝවින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මියගොස් ඇත. යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

13. දෙහිවලදී බස් රථයක ගැටී යතුරුපැදිකාරියක් ජීවිතක්ෂයට!

දෙහිවල මුහුදුබඩ මාර්ගයේදී බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ දරුණු අනතුරකින් 34 හැවිරිදි කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි යතුරුපැදිකාරිය බරපතල තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

14. පලෙයිදී ගවයෙකුගේ ගැටී ත්‍රීරෝද රථයක් පෙරළෙයි – කාන්තාවක් මරුට!

යාපනය – කිලිනොච්චිය මාර්ගයේ පුදුක්කාඩු ප්‍රදේශයේදී මාර්ගය හරහා ගිය ගවයෙකුගේ ගැටී ත්‍රීරෝද රථයක් පෙරළී යාමෙන් එහි පිටුපස ගමන් කළ 68 හැවිරිදි කාන්තාවක් කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

Share.
Leave A Reply