හිලව් කර බේරෙන්න හදන කුමාර ජයකොඩිට මරික්කාර් වෙතින් සෘජු චෝදනාකමිටු වාර්තාව අඟහරුවාදා පාර්ලිමේන්තුවට; අල්ලස් කොමිසමටත් CIDයටත් යැවීමට තීරණයක්!

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වීම හේතුවෙන් මෙරටට සිදු වූ සමස්ත මූල්‍ය අලාභය රුපියල් බිලියන 20ක් (කෝටි 2,000ක්) දක්වා ඉහළ යන බවත්, අදාළ වංචාවේ සෘජු වගකීමෙන් හිටපු ඇමැති කුමාර ජයකොඩිට කිසිසේත්ම ගැලවිය නොහැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය. 

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, යටිතල පහසුකම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත් කරන ලද විශේෂඥ කමිටු වාර්තාව මගින් මෙම සියලු තොරතුරු අනාවරණය වී ඇති බවයි.  

ඇමැතිවරයා රැකීමේ මෙහෙයුමක්!ගල් අඟුරු වංචාවෙන් සිදු වූ පාඩුව රුපියල් බිලියන 15.68ක් බවත්, ‘පර්ෆෝමන්ස් බොන්ඩ්’ (Performance Bond) හරහා තබාගෙන ඇති රුපියල් බිලියන 16.9ක මුදලින් එය පියවා ගත හැකි බවත් පවසමින් අමාත්‍ය අනුර කරුණාතිලක මහතා, කුමාර ජයකොඩි මහතාව සුද්ධ කිරීමට උත්සාහ කරන බව මරික්කාර් මහතා චෝදනා කළේය.

එසේම ලබන ජනවාරි මාසය වන විට කුමාර ජයකොඩි මහතාව නැවත ඇමති ධූරයට පත් කිරීමේ මෙහෙයුමක්ද ආණ්ඩුව තුළ ක්‍රියාත්මක වන බව ඔහු අනාවරණය කළේය.  

කමිටු වාර්තාවෙන් හෙළි වූ සෘජු අලාභයන් හි සංඛ්‍යාත්මක තොරතුරු:විශේෂඥ කමිටු වාර්තාවට අනුව සිදු වී ඇති සෘජු අලාභයන් මන්ත්‍රීවරයා විසින් සංඛ්‍යාත්මකව පෙන්වා දෙන ලදී:  

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු නිසා අහිමි වූ මෙගාවොට් 300 ලබා ගැනීමට අතිරේක විදුලිය මිලදී ගැනීමට සිදු වූ අතර ඊට රුපියල් බිලියන 8.572ක් වැය වී ඇත. 

අතිරේක ගල් අඟුරු දහනය: අවශ්‍ය විදුලිය නිපදවීම උදෙසා වැඩිපුර ගල් අඟුරු පාවිච්චි කිරීම නිසා වූ පාඩුව රුපියල් බිලියන 7.099කි.   හදිසි මිලදී ගැනීම් අලාභය: ගිවිසුම්ගත නැව් 25න් මෙරටට පැමිණියේ නැව් 19ක් පමණි. ඉතිරි නැව් වෙනුවට හදිසි මිලදී ගැනීම් යටතේ ගෙනා නැව් 5 සඳහා වෙළඳපොළ මිලට වඩා රුපියල් මිලියන 2,284ක් වැඩිපුර ගෙවීමට සිදුවී තිබේ.  

හදිසි මිලදී ගැනීමේ එක් නැවක් දින 5ක් ප්‍රමාද වීම නිසා අතිරේක විදුලියට රුපියල් මිලියන 402.8ක් වැය වී ඇත.   නඩත්තු හා අළු පාලනය: අතිරේක නඩත්තුවට රුපියල් මිලියන 80.4ක් සහ වැඩිපුර එකතු වූ අළු පාලනයට රුපියල් මිලියන 13.1ක් වැය වී තිබේ.  

ඉන්දියානු වාර්තා සැක සහිත වූ බැවින් ඕස්ට්‍රේලියාවේ ‘බියුරෝ වේරිටාස්’ සමාගම ලවා නැව් 19ම පරීක්ෂා කිරීමට රුපියල් මිලියන 26.6ක් (නැවකට මිලියන 1.4 බැගින්) වැය වී ඇත.   සෘජු අලාභය: මේ අනුව කමිටු වාර්තාවට අනුව සිදුව ඇති සමස්ත සෘජු පාඩුව රුපියල් මිලියන 18,393 කි (බිලියන 18.393ක්).

මෙයට ඇතුළත් නොකළ ඩීසල් සහනාධාර පාඩුවද එකතු වූ විට සමස්ත පාඩුව රුපියල් බිලියන 20ක් දක්වා ඉහළ යන බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.  

නෛතික හා පාර්ලිමේන්තු ක්‍රියාමාර්ගමහ බැංකු බැඳුම්කර වංචාවේදී අර්ජුන ඇලෝසියස්ගේ ගිණුම්වල තිබූ මුදල් අත්හිටුවූ පමණින් වැරදිකරුවන්ට සමාවක් නොලැබුණා සේම, ‘බිග් බොන්ඩ්’ එකෙන් මුදල් අය කරගත්තද කුමාර ජයකොඩිට වගකීමෙන් මිදිය නොහැකි බව මරික්කාර් මහතා සඳහන් කළේය.  

අදාළ නිල වාර්තාව එළඹෙන අඟහරුවාදා පාර්ලිමේන්තුවට සභාගත කර මන්ත්‍රීවරුන් 225 දෙනාටම ලබා දෙන බවත්, ඉන්පසු එය ජනාධිපති කොමිසම, අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත යොමු කර විමර්ශන පවත්වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය।

Share.
Leave A Reply