අන්තර්ජාතික රැම්සා තෙත්බිමක් වන මාදු ගඟ ආශ්රිත පරිසර පද්ධතියේ සමතුලිතතාව ආරක්ෂා කර ගැනීම සහ එහි පාරිසරික ධාරිතාව (Carrying Capacity) ඉක්මවා සිදුවන සංචාරක බෝට්ටු ධාවනය විධිමත්ව නියාමනය කිරීම අරමුණු කරගත් විශේෂ සාකච්ඡාවක් ඊයේ දින (9) බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු, මධ්‍යම පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, බළපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) මෙන්ම ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
මෙහිදී අනාවරණය වූයේ මාදු ගඟ ආශ්‍රිතව දැනට සංචාරක බෝට්ටු ආයතන 70ක් යටතේ බෝට්ටු 327ක් පමණ ක්‍රියාත්මක වන බවත්, මෙම අධික බෝට්ටු සංඛ්‍යාව හේතුවෙන් ගඟේ ඉවුරු ඛාදනය වීම, කඩොලාන පද්ධතියට හානි සිදුවීම, මත්ස්‍ය බීජ සහ ජලජ ජීවීන්ට වන බාධා උග්‍ර වී ඇති බවත්, මෙය මාදු ගඟට දරාගත නොහැකි මට්ටමකට පත්ව ඇති බවත් ය.
ස්වභාවික පරිසර පද්ධතියක දරාගැනීමේ ධාරිතාව ඉක්මවා යාමෙන් සමස්ත පරිසරයම ආපසු හැරවිය නොහැකි විනාශයකට මුහුණ දෙන බැවින්, සංචාරක කර්මාන්තය කෙටිකාලීන ලාභයක් මත පමණක් නොව දීර්ඝකාලීන තිරසාර පදනමක් මත පවත්වාගෙන යාමේ වැදගත්කම මෙහිදී ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා විසින් පෙන්වා දෙන ලදී. ඒ අනුව කඩිනම් නියාමනයක් ක්‍රියාත්මක කිරීම උදෙසා කෙටිකාලීන හා දිගුකාලීන විද්‍යාත්මක සැලැස්මක් සකස් කිරීමට තීරණය විය.
සංචාරක බෝට්ටු නියාමනය සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව මගින් විශේෂ නීතිමය පනත් කෙටුම්පතක් සකස් කර ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන තෙක්, ක්ෂණික විසඳුමක් ලෙස දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය ඇතිව මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. ඒ අනුව, ඉවුරු ඛාදනය, කඩොලාන විනාශය සහ මත්ස්‍ය ප්‍රජාවට වන හානිය වළක්වා ගැනීම සඳහා අශ්වබල 15 (15 HP) හෝ ඊට අඩු එන්ජින් සහිත බෝට්ටු සඳහා පමණක් ධාවන අවසරය ලබා දීමේ හැකියාව පිළිබඳත්, ජල දූෂණය සහ විමෝචන බලපෑම් අවම කිරීමට බෝට්ටු එන්ජින් සඳහා පෙට්‍රල් පමණක් භාවිත කිරීමට කටයුතු කිරීම, බෝට්ටු ධාවනය පෙරවරු 6:00 සිට පස්වරු 5:00 දක්වා කාලයට පමණක් සීමා කිරීම මෙන් ම මාදු ගඟේ ධාවනය වන සියලුම සංචාරක බෝට්ටු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල වශයෙන් ලියාපදිංචි කිරීම සිදු කිරීම සහ පාරිසරික අධ්‍යයනයන්ට අනුව මාදු ගඟට දැරිය හැකි උපරිම බෝට්ටු ප්‍රමාණය නීතිමය වශයෙන් සීමා කිරීම යන කරුණු පිළිබඳ අවධානය යොමු කරන ලදී.
මෙම නියාමන ක්‍රියාවලිය විධිමත්ව බිම් මට්ටමින් ක්‍රියාත්මක කිරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසියේ පූර්ණ සහාය ලබා ගැනීමටත්, අදාළ සියලු ආයතන ඒකාබද්ධව අධීක්ෂණ කමිටුවක් හරහා ක්‍රියාත්මක වීමටත් එකඟතාව පළ විය. මාදු ගඟේ අසිරිමත් ජෛව විවිධත්වය මතු පරපුර වෙනුවෙන් සුරකිමින් තිරසාර පරිසර සංචාරක ව්‍යාපාරයක් තහවුරු කිරීම මෙම වැඩපිළිවෙළේ මූලික අපේක්ෂාවයි.

