ඩිජිටල් තිර සඳහා කුඩා දරුවන් ඇබ්බැහි වීමෙන් මුදවාගැනීම සහ ආරක්ෂා කිරීම රජයේ පමණක් නොව සමස්ත සමාජයේම වගකීමක් බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය පෙන්වා දෙයි. මේ අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පාසල් දරුවන් සැලකිය යුතු පිරිසක් සමාජයට රහසිගතව පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වන බවද එම විද්‍යායතනයේ අධ්‍යක්ෂවරයා සඳහන් කළාය.

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මනෝවෛද්‍ය විශේෂඥ වින්ද්‍යා විජේබණ්ඩාර මහත්මිය විශේෂ හමුවක් අමතමින්, ජාතික මානසික සෞඛ්‍ය උපදේශන සේවාවේ ප්‍රගතිය පිළිබඳව දත්ත සහ සංඛ්‍යාලේඛන රැසක් අනාවරණය කළාය.

200,000+ ඇමතුම්: මීට වසර 8 කට පෙර ආරම්භ කළ ‘1926’ ජාතික මානසික සෞඛ්‍ය උපදේශන සේවාව ඔස්සේ මේ දක්වා ලක්ෂ දෙකකට (200,000) අධික දුරකථන සංවාද ප්‍රමාණයක් පවත්වා ඇත.

ලැබුණු මුළු ඇමතුම් ප්‍රමාණයෙන් 1/3 ක්ම (66,000 කට අධික ප්‍රමාණයක්) විවිධ මානසික ගැටලු සම්බන්ධයෙන් කෙරුණු සාමාන්‍ය විමසීම් වේ.

178 ක ඩිජිටල් තිර ඇබ්බැහිවීම්: දුරකථන ඇමතුම් අතුරින් ඇමතුම් 178 ක් කෙලින්ම වාර්තා වී ඇත්තේ දරුවන්ගේ සහ තරුණයන්ගේ ඩිජිටල් තිර ඇබ්බැහිය (Screen Addiction) සම්බන්ධයෙනි.

 ‘1926’ WhatsApp සමූහය හරහා 14,500 කට ආසන්න පිරිසක් සක්‍රියව සම්බන්ධ වී සිටින අතර, තමන්ගේ නම හෝ අන්‍යතාව හෙළි නොකර උපදෙස් ලබා ගැනීමට එහිදී පහසුකම් සලසා ඇත.

විශේෂ මානසික සෞඛ්‍ය පුහුණුව ලත් හෙද නිලධාරීන් සේවයේ යොදවා ඇති මෙරට එකම දුරකථන උපදේශන සේවාව ‘1926’ වන අතර, මෙම මෙහෙයුම සඳහා විවිධ ක්ෂේත්‍රවල වෘත්තිකයන් රැසක් එක්ව සිටිති.

එමෙන්ම පැය 24 පුරා ක්‍රියාත්මක වන මෙරට එකම මානසික සෞඛ්‍ය බාහිර රෝගී අංශය (OPD) ද ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය සතුව පවතී.

සියදිවි නසාගැනීම් සම්බන්ධ පුවත් මාධ්‍ය මගින් විශාල ලෙස වාර්තා කිරීම නිසා මානසික අසමතුලිතතාවයෙන් පෙළෙන පුද්ගලයන් ඊට සංවේදී වී, එම ක්‍රියා අනුකරණය කිරීමට පෙළඹීමේ වැඩි අවදානමක් පවතින බව මනෝවෛද්‍ය විශේෂඥවරිය අවධාරණය කළාය.

එසේම, ජංගම යෙදවුම් (Apps) සහ නවීන තාක්ෂණික නිමැවුම් භාවිතය නිසාද සියදිවි නසාගැනීමේ ප්‍රවණතා උද්දීපනය වන බව පෙනී යන බැවින්, මේ පිළිබඳව සමාජය දැනුවත් කිරීමට සහ වගකීම් සහගත ලෙස තොරතුරු වාර්තා කිරීමට මාධ්‍ය කටයුතු කළ යුතු බවට ඉල්ලීමක් කෙරේ.

Share.
Leave A Reply