• ගෝලීය අධ්‍යාපන ප්‍රවණතාවලට සරිලන ඉගෙනුම් පරිසරයක් පාසල් තුළ නිර්මාණය කිරීම අපගේ අරමුණයි.
-නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න-

නව ගෝලීය අධ්‍යාපන ප්‍රවණතාවලට සරිලන ඉගෙනුම් පරිසරයක් පාසල් තුළ ගොඩනැගීම ඔස්සේ, අනාගතයට ගැළපෙන වෘත්තිකයන් හා නවෝත්පාදකයින් බිහිකිරීම රජයේ අරමුණ බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසුවේය.

2026.09.29 දින කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසලේ ඉදිකෙරෙන උසස් පෙළ විද්‍යාගාර සහිත තෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.

රුපියල් මිලියන 180 ක රජයේ මූල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීම ඔස්සේ ඉදි කෙරෙන මෙම තෙමහල් ගොඩනැගිලි සංකීර්ණය නවීන විද්‍යාගාර 03 කින් සහ පන්ති කාමර 06 කින් සමන්විත වේ. පාසලේ උසස් පෙළ විද්‍යා අධ්‍යාපන යටිතල පහසුකම් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මාස 10 ක් වැනි කෙටි කාලයක් තුළ අවසන් කිරීමට නියමිතය.

මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, නව ගෝලීය අධ්‍යාපන ප්‍රවණතාවන්ට සරිලන ඉගෙනුම් පරිසරයක් පාසල් තුළ ගොඩනැගීම ඔස්සේ අනාගතයට ගැළපෙන වෘත්තිකයන් හා නවෝත්පාදකයන් බිහිකිරීම රජයේ ප්‍රධාන අරමුණ බවයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ දිවයින පුරා පිහිටි තෝරාගත් ප්‍රාථමික පාසල් සංඛ්‍යාවක් නව ගෝලීය ප්‍රවණතාවන්ට අනුකූලව සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා, 2026 වසරේදී පමණක් ප්‍රාථමික පාසල් 169 ක් ඒ සඳහා තෝරාගෙන ඇති බවත්, නාගරික මෙන්ම ග්‍රාමීය පාසල් සඳහා ද සාධාරණ ලෙස සම්පත් බෙදා හරිමින් අධ්‍යාපනයේ සමානාත්මතාව සුරැකීමට රජය අයවැය ප්‍රතිපාදන වෙන්කිරීම් ඔස්සේ කටයුතු කර ඇති බව ද පැවසීය.

පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියට මෙන්ම පාසල් පරිපාලනය සහ ගුරු මාරු ක්‍රමවේදයට ද ඩිජිටල් තාක්ෂණය එකතු කළ යුතු බව ප්‍රකාශ කළේය. එමෙන්ම, ඩිජිටල් අවකාශය භාවිත කිරීමේදී සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කෙරෙන පරිදි ප්‍රතිපත්ති සකස් කරන බව ද පැවසුවේය.

රටට අවශ්‍ය මානව ප්‍රාග්ධනය වර්ධනය කිරීම උදෙසා උසස් පෙළ සඳහා වෘත්තීය අධ්‍යාපන විෂයන් ඇතුළත් කිරීමටත්, පාසල් කාලය තුළදීම සිසුන්ගේ නවෝත්පාදන කුසලතා වර්ධනය වන පරිදි ආශ්‍රිත විෂයන් හඳුන්වා දීමටත් පියවර ගන්නා බවත් පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, දැනට පවතින ගුරු සහ විදුහල්පති පුරප්පාඩු පිරවීමේ වත්මන් ප්‍රගතිය මෙන්ම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන්හි සිදුකිරීමට නියමිත විෂයමාලා ප්‍රතිසංස්කරණ පිළිබඳව ද සභාව දැනුවත් කළේය.

එමෙන්ම, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පුත්තලම අධ්‍යයන මධ්‍යස්ථානය සඳහා සිසුන් 1,200 කට පමණ එකවර ඉගෙනුම් කටයුතුවල නිරත විය හැකි ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 420 ක් අනුමත වී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා කියා සිටියේ, දියුණු සමාජයක් ගොඩනැගීම උදෙසා මනා හික්මීමකින් හා දැනුමෙන් සන්නද්ධ පුරවැසියන් බිහිකළ යුතු බවයි. ශ්‍රී ලංකාව ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින්, මෑත ඉතිහාසයේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කෙරුණු විශාලතම මුදල වන රුපියල් බිලියන 705 ක් 2026 අයවැය ඔස්සේ වෙන් කිරීමට රජය කටයුතු කර ඇති බව ද ඒ මහතා කියා සිටියේය.

මෙම අවස්ථාව සඳහා පූජනීය මහා සංඝරත්නය, වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උපසභාපති යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද, අතිරේක අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ජයනි ප්‍රසංගිකා මහත්මිය, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය ඇතුළු අධ්‍යාපන බලධාරීන් ද, විදුහල්පතිනිය ප්‍රමුඛ ගුරුවරුන්, දෙමාපියන් සහ සිසු දරුවන් පිරිසක් ද සහභාගි වූහ.

Share.
Leave A Reply