සමාජ මාධ්‍ය සටහනක් හේතුවෙන් සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන අනුජන් සිවරාසාගේ ජීවිතය බේරාගැනීම සඳහා රජය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රබල රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් ආරම්භ කර තිබේ.
මේ යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සෞදි අරාබියේ සල්මාන් රජතුමා වෙත යොමු කරන ලද විශේෂ ඉල්ලීම් සංදේශයක් ද රැගෙන ආණ්ඩුපක්ෂයේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත විශේෂ නියෝජිත පිරිසක් සෞදි අරාබිය බලා පිටත්ව යාමට නියමිතය. නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නියෝජිත පිරිස නම් කර ඇත.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, අනුජන් සිවරාසා බේරාගැනීමට අදාළ නීතිමය සහ රාජ්‍ය තාන්ත්‍රික පියවරයන් ගනිමින් පවතින බවයි. එසේම මෙම නඩුවට අදාළ සියලුම නෛතික වියදම් ශ්‍රී ලංකා රජය විසින් දැරීමට කටයුතු යොදා ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් තහවුරු කළේය.
ජාතික මට්ටමේ අවධානයට ලක්ව ඇති මෙම නඩුවේදී අනුජන්ගේ ජීවිතයට සමාව ලබාගැනීම වෙනුවෙන් රජය සහ විපක්ෂය එක්ව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් උපරිම සාකච්ඡා මාර්ගයන්ට අවතීර්ණ වී සිටී.

