ලොව පිළිගත් ඉහළම වෘත්තීය සුදුසුකම් සහිත විශේෂඥ වෛද්‍යවරුන් දිවයිනේ දුෂ්කර හා දුරස්ථ ප්‍රදේශවල සේවය කිරීමේදී මුහුණ දෙන දැඩි අසාධාරණයන් සහ ප්‍රවාහන ගැටලු සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් දැඩි අවධාරණයකින් යුත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
සංවර්ධිත රටවලට සාපේක්ෂව අඩු ඒක පුද්ගල සෞඛ්‍ය වියදමක් යටතේ වුවද මෙරට සෞඛ්‍ය පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට විශේෂඥ වෛද්‍යවරුන් ඉටු කරන කාර්යභාරය අතිමහත් බව එම සංගමය පෙන්වා දෙයි. විදේශ රටවලින් ලැබෙන අතිශය ආකර්ෂණීය වැටුප් සහ වෘත්තීය අවස්ථා අත්හැර, මව්බිමේ ජනතාවට සේවය කිරීම සඳහා පැමිණෙන මෙම විශේෂඥ වෛද්‍යවරුන් අද වන විට බරපතළ වෘත්තීය ගැටලු රැසකට මුහුණ දී සිටියි.
ප්‍රවාහන දීමනා අහිමි වීමෙන් දැඩි අසාධාරණයක්රාජ්‍ය සේවයේ හඳුනාගත් විධායක ශ්‍රේණියේ නිලධාරීන් සඳහා 1999 වර්ෂයේ සිට 22/99 චක්‍රලේඛයට අනුකූලව ප්‍රවාහන පහසුකම් හෝ දීමනා ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුවද, එම සුදුසුකම් සපුරාලන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා මේ දක්වා එවැනි දීමනාවක් ලබා නොදීම බරපතළ අසාධාරණයක් බව GMOA පෙන්වා දෙයි.
බස්නාහිර පළාතේ පදිංචි විශේෂඥ වෛද්‍යවරයෙකුට යාපනය, මොනරාගල හෝ අම්පාර වැනි දුරස්ථ ප්‍රදේශවල සේවයට වාර්තා කිරීමේදී තම පෞද්ගලික වැටුපෙන් විශාල ප්‍රවාහන වියදමක් දැරීමට සිදුව තිබේ. ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ඇතැම් වෛද්‍යවරුන්ට තම මාසික වැටුපෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය සඳහාම වැය කිරීමට සිදුව ඇති පසුබිමක, දිගු දුර රිය පැදවීම නිසා ඔවුන් දැඩි ශාරීරික හා මානසික පීඩනයකට ලක්ව ඇති අතර මාර්ග අනතුරුවලට මුහුණ දීමේ අවදානමද ඉහළ ගොස් ඇත.
විශේෂඥ වෛද්‍යවරුන් රටින් පලා යාමේ අවදානමක්දැනට පවතින නීතිමය පසුබිම තුළ 22/99 චක්‍රලේඛය යටතේ මෙම ගැටලුවට පහසුවෙන් විසඳුම් ලබාදිය හැකි වුවද, බලධාරීන්ගෙන් මේ සඳහා ප්‍රමාණවත් ප්‍රතිචාරයක් ලැබී නොමැත. මෙම තත්ත්වය හමුවේ දුෂ්කර ප්‍රදේශවල සේවය කිරීමට විශේෂඥ වෛද්‍යවරුන් අධෛර්යමත් වීම, විදේශ පුහුණුවෙන් පසු යළි පැමිණීමට අපේක්ෂා කරන වෛද්‍යවරුන්ට අයහපත් පණිවිඩයක් ලැබීම සහ දැනට සේවයේ යෙදී සිටින වෛද්‍යවරුන්ද විදේශීය අවස්ථා සොයා රට යාම වැනි අවදානම් තත්ත්වයන් මතුවිය හැකි බව සංගමය අවධාරණය කරයි.
ජාතික ආයෝජනයක් ලෙස සැලකිය යුතුයිවිශේෂඥ වෛද්‍යවරුන් සඳහා පහසුකම් ලබාදීම යනු පුද්ගලික වරප්‍රසාද ලබාදීමක් නොව, රටේ සෑම පුරවැසියෙකුටම ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාගැනීම සඳහා සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට කරන අත්‍යවශ්‍ය ජාතික ආයෝජනයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි. ඒ අනුව, 22/99 චක්‍රලේඛය යටතේ විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් හෝ සාධාරණ ප්‍රවාහන දීමනාවක් කඩිනමින් ලබාදීමටත්, ඔවුන් රට තුළ රඳවා ගැනීමට අවශ්‍ය අනුකූලතා පරිසරය නිර්මාණය කිරීමටත් වගකිවයුතු අංශ වහාම පියවර ගන්නා ලෙස GMOA මහලේකම් වෛද්‍ය යු.කේ.බී. වරකාගොඩ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම මාධ්‍ය නිවේදනය මඟින් තරයේ ඉල්ලා සිටී.

