ලිප ගිනි මෙළවිමේ නැකැත බරපතල ලෙස දෝෂ සහගතයි

            ලබන වසරේ එනම් 2027 වසරේ අලුත් අවුරුදු චාරිත්‍ර සඳහා රජයේ මැදිහත් වීමෙන් ජාතික නැකැත් කමිටුව මඟින් ලබා දී ඇති ලිප ගිනි දැල්වීමේ නැකැතේ බරපතල දෝෂ පවතී.

එම ලිප ගිනි දැල්වීමේ නැකැත ලබාදී ඇත්තේ 2027 වසරේ අප්‍රේල් මස 14 දා බදාදා සවස 06.18 ටය. ජාතික නැකැත් කමිටුවට තේරී පත්වූ ඇතැම් ජ්‍යොතිෂවේදීන් ගේ කරුණු දැක්වීම් අනුව ඔවුන් මෙම නැකැත ලිප ගිනි දැල්වීම සඳහා තෝරාගෙන ඇත්තේ හිරු බැස යාමට ආසන්නයේ උදාවන ගෝධූලි නැකැතිනි. එම නැකැත දී ඇත්තේ සියලු දෝෂ භංග කරන බවට වැරදි කල්පිතයක් පදනම් කරගෙනය. ගෝධුලිය සියලු දෝෂ භංග කරන බවට සම්හර ජ්‍යොතිෂවේදීන් තුළ ඇත්තේ වැරදි වැටහීමකි. ශාස්ත්‍රානුකූලව බැලීමේදී සවස් කාලයේ හිරු බැස යද්දී ගවයන් නිවෙස් කරා පැමිණිමේදී ඔවුන්ගේ කුර ගැටීමෙන් නැඟෙන දූවිලි සංකේතවත් කරමින් හැඳින්වෙන මෙම ගෝධූලි නැකැත විශේෂයෙන් සුබදායක බව ප්‍රකාශ කර ඇත්තේ ශුද්ධ විවාහ ලග්නයක් නොලැබෙන අවස්ථාවන්හි යොදා ගැනීමටය.

            ගෝධූලි නැකැත යොදා ගත හැකි කටයුතු ගැන සඳහන් වන ‘ජ්‍යොතිර් නිබන්ධ සම්ප්‍රදාය’ නම් පුරාණ ග්‍රන්ථයේ දැක්වෙන පරිදි මෙම නැකැත යොද ගැනීමෙන් ඇතැම් දෝෂ නොසළකා හැරිය හැකිය. එහෙත් ගෝධූලි නැකැත සර්ව දෝෂ නාශක නියමයක් ලෙස යොදා ගත නොහැකිය.

      ‘ජ්‍යොතිර් නිබන්ධ සම්ප්‍රදායේ ගෝධූලි නැකැත යොදා නොගත යුතු අවස්ථා පැහැදිලිව දක්වා තිබේ. ඉන් එකක් වන්නේ සංක්‍රාන්ති දෝෂයයි. සංක්‍රාන්තිය ඇතුළු ප්‍රබල දෝෂ 11 කදී ඇතිවන දෝෂ ගෝධූලි නැකැතින් නිෂ්ප්‍රභා නොවන බව එහි පැහැදිලිව දක්වා තිබේ.

            ලිප ගිනි දැල්වීම සඳහා ප.ව. 6.18 ට ලබා දී ඇති නැකැතේ දී සැබෑ සූර්ය අස්ථය නොසළකා හැරීමෙන්ද ප්‍රබල දෝෂයක් ඇතිවී තිබේ. එදින කොළඹ කොටුවට හිරු බැස යෑම සිදුවන්නේ පස්වරු පැය 06 මිනිත්තු 18 යි තත්පර 54 ටය. එහෙයින් නැකැත ලබාදුන් ජ්‍යොතිෂවේදීන් සිතූ පරිදි රවි හෝරාව නොව කුජ හෝරාව පවතී.රවි උච්ච රාශි බලයෙන් සිටියද ගණ්ඩාන්ත දෝෂයට හසුව සිටින අතර කුජද ගණ්ඩාන්ත දෝෂයට හසුව සිටී.

            අග්නි කටයුත්තට කුජ ග්‍රහයා සුදුසු වුවද කුජ ග්‍රහයා දුර්වල හෙයින් පාලිත අග්නිය වෙනුවට හදිසි ගිනි ඇවිළීම් පිළිස්සුම් ආදී හානි ප්‍රතිපල විය හැකිය.පංචම කාල ඇතුළු තවත් බරපතල දෝෂ කිහිපයක්ම මතුවන බව ජ්‍යොතිෂ සිද්ධාන්ත ඇසුරින් අපට පෙන්වා දිය හැකිය.

            ජාතික නැකැත් කමිටුව සඳහා අප වෙතද කැඳවීමක් ලැබී තිබුණද ඊට ජ්‍යොතිෂවේදීන් තෝරා ගැනීමට අදාළ නිර්නායක ඉදිරිපත් කර නොමැතිවීම සහ ව්‍යාපාරික අරමුණු ඇතිව කල්ලි ගැසුණු කණ්ඩායමකගේ කූට සැලසුමක් ගැන දැන ගැනීමට ලැබීම හේතුවෙන් අප නැකැත් කමිටුවට සහභාගි නොවන බව කල්තියා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට දන්වා යැවීමු. එසේම අප විසින් ශාස්ත්‍රානුකූලව සහ ලිත් කරුවන් විසින් වසර සිය ගණනක් තිස්සේ යටපත් කරන ලද්දාවූ ඍෂිවරුන් විසින් දක්වා ඇති ඉගැන්වීම්වලට අනුකූලව 2027 අවුරුදු චාරිත්‍ර සඳහා නිසි ලෙස සකසන ලද නැකැත් සීට්ටුවක්ද ඉදිරිපත් කළෙමු. එහෙත් අප ඉදිරිපත් කළ නැකැත් සීට්ටුව පිළිබඳ අවධානයක් ද යොමු කොට නොමැති බව පෙනේ.

            අවසාන වශයෙන් කිව යුත්තේ ලිප ගිනි මෙළවීමට ලබා දී ඇති නැකැත තුල තවත් ප්‍රබල දෝෂ කිහිපයක්ම රජයේ ජාතික නැකැත් කමිටුවේ අවුරුදු නැකැත් සීට්ටුවට අන්තර් ගත වන බවයි. එසේම බොහෝ තැන්වලදී ඍෂි මතය ට අනුකූල නොවී ඇත. ජාතික නැකැත් කමිටුවට තෝරා ගෙන ඇති සහ එහි බලය අත්තනෝමතිකව භාවිත කරන එක්තරා කල්ලියක් ඍෂි මතය වෙනුවට ව්‍යාපාරික ලිත් සම්ප්‍රදාය යන බොරුව තවදුරටත් පවත්වා ගනිමින් සිටී.

අලුත් අවුරුදු චාරිත්‍ර යනු සාමාන්‍ය චාරිත්‍ර නොවේ. සංක්‍රාන්ති දෝෂ භංග වන අයුරින් ඍෂි මතයට අනුකූලව රටේත්, පාලකයන්ගේ සහ ජනතාවගේත් සුබසිද්ධිය සඳහා ලබා දිය යුතු සුබ මුහුර්තයන්ය. නිසි සේ කරුණු නොසළකා නැකැත් ලබාදීමෙන් රටටත්, ජනතාවටත්, පාලකයන්ටත් අවැඩක්ම සිදුවෙයි. මේ පිළිබඳ පූර්ණ ලෙස සහ සවිස්තරාත්මකව ජනතාව දැනුවත් කිරීමට නාරද අභිමානි සංසදයේ අප සැදී පැහැදී සිටින්නෙමු.

ජ්‍යොතිෂවේදී නුමින්ද ශාන්තසිරි  ද සිල්වා

ගරු සභාපති

නාරද අභිමානි සංසදය

ජංගම දුරකථන :0714-184387

Share.
Leave A Reply