1980 දශකයේ අගභාගයේදී මෙරට ඇති වූ ප්‍රචණ්ඩකාරී හා අනීතික තත්ත්වය තුළ සිදු වූ මානව හිමිකම් කඩවීම් සහ දේශපාලන අපරාධ පිළිබඳව සත්‍යය හෙළිදරව් කරගැනීමත්, ඒ හරහා සියලුම පාර්ශවයන්හි වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමත් අරමුණු කරගනිමින් සම්පූර්ණ ස්වාධීන කොමිසන් සභාවක් පත්කරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා වෙත විශේෂ සංදේශයක් භාරදීම අද (14) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය.
ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර මහතා ප්රමුඛ නියෝජිතයන් පිරිසක් විසින් මෙම සංදේශය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාරදෙන ලදී.
සංදේශය භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සංවිධායකයන් සඳහන් කළේ, 1980 දශකයේ පැවැති පාලන සමයේ නිර්මාණය වූ දේශපාලනික මර්දනය සහ 1987-1989 කාලයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී පසුබිම තුළ අහිමි වූ දහස් සංඛ්‍යාත ජීවිත වෙනුවෙන් තවමත් නිසි යුක්තියක් ඉෂ්ට වී නොමැති බවයි.
“මෙම පියවර කිසිදු දේශපාලන පලිගැනීමක් හෝ වෛරයක් පදනම් කරගත්තක් නෙවෙයි. ඉතිහාසයේ සිදු වූ අයුක්තියට එරෙහිව සත්‍යය හෙළිදරව් කරගැනීමත්, ඒ හරහා වින්දිතයන් වූ සියලුම පාර්ශවයන්ට සාධාරණය ඉටුකර අනාගත පරම්පරාවට නැවත මෙවැනි කළු පැල්ලමක් ඇති නොවීමට වගබලා ගැනීමත් අපගේ එකම අරමුණයි.” යනුවෙන් එහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.
මෙම සංදේශය භාරදීමට සමගාමීව, 87-89 යුගයේ ඓතිහාසික යථාර්ථය සහ වින්දිතයන්ගේ අයිතිවාසිකම් පිළිබඳව මහජනතාව, තරුණ පරම්පරාව සහ සිවිල් සමාජය දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක් ඉදිරියේදී දියත් කිරීමට කටයුතු යොදා ඇති බවද ප්‍රකාශ විය.
සියලුම පාර්ශවයන්ගෙන් සිදු වූ අයුක්තීන් එක හා සමානව සලකා, අපක්ෂපාතී පරීක්ෂණයකින් පසුව ජාතික මට්ටමේ සංහිඳියාවක් සහ සාධාරණත්වයක් ගොඩනැගීම සඳහා මෙම ස්වාධීන කොමිසම හදිසි අවශ්‍යතාවයක් බව සිවිල් සංවිධාන නියෝජිතයෝ ද පෙන්වා දෙති.

