රටේ ආර්ථිකයේ කොඳුනාරටිය බඳු වූ සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන් පරාටේ නීතිය (Parate Execution) හමුවේ අසරණ වීමට එරෙහිව සහ බැංකු පද්ධතියෙන් සිදුවන බව කියන අසාධාරණයන්ට තිත තැබීම සඳහා දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යාවසායක සංවිධානය සහ SDB ණය අසාධාරණයට ලක්වූවන්ගේ සංවිධානය එක්ව දැවැන්ත ඒකාබද්ධ විරෝධතා ව්‍යාපාරයක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ක්‍රියාත්මක වන පරාටේ නීතිය හමුවේ තමන්ගේ ජීවිත කාලය පුරා හම්බ කරගත් දේපළ, නිවාස සහ ව්‍යාපාර ස්ථාන සපෙළින්ම බැංකුවලට පවරා ගැනීමට එරෙහිව සියලුම බැංකු පද්ධතියට බලපෑම් කරමින් මෙම විරෝධතාව පැවැත්වෙන බව සංවිධායකයෝ පවසති.

“ව්‍යාපාරිකයන් අනාථයි – වත්කම් සූරගෙන කෑමට එරෙහිව ජනපතිගෙන් මැදිහත්වීමක්”

පසුගිය කාලසීමාවේදී මෙරට පැවැති ආර්ථික අර්බුදය, පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ ඉහළ ගිය පොලී අනුපාත හේතුවෙන් බිඳවැටුණු ව්‍යාපාර නැවත ගොඩනගා ගැනීමට සාධාරණ සහන කාලයක් ලබාදෙන ලෙස ව්‍යාපාරික ප්‍රජාව අවස්ථා ගණනාවකදී ඉල්ලා සිටියහ. නමුදු එම සාධාරණ ඉල්ලීම් නොසලකා හරිමින්, පරාටේ නීතිය බලහත්කාරයෙන් භාවිත කරමින් ව්‍යාපාරිකයන්ගේ දෙපොළ හා වත්කම් වෙන්දේසි කිරීමට බැංකු කටයුතු කිරීම සම්බන්ධයෙන් ව්‍යාවසායකයෝ දැඩි කළකිරීමෙන් පසුවෙති.

SDB ඇතුළු සියලුම වාණිජ බැංකු මගින් ලබාදී ඇති ණය අයකිරීමේදී අනුගමනය කරන අසාධාරණ පිළිවෙත් සහ අධික දඩ පොලී අයකිරීම්වලින් ව්‍යාපාරිකයන් අසරණ වී ඇති බවත්, මීට වහාම රජයේ සහ ජනාධිපතිවරයාගේ පූර්ණ මැදිහත්වීම අවශ්‍ය බවත් විරෝධතාකරුවෝ අවධාරණය කරති.

ප්‍රධාන ඉල්ලීම් කිහිපයක්:

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම වහාම අත්හිටුවීම: දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දේපළ අත්පත් කරගැනීම වහා නතර කිරීම.

සාධාරණ ණය ප්‍රතිසංවිධාන ක්‍රමවේදයක් (Debt Restructuring): එකවර දේපළ වෙන්දේසි නොකර, හිඟ ණය පියවීම සඳහා ප්‍රායෝගික සහ සහනදායී ගෙවීම් ක්‍රමවේදයක් සකස් කිරීම.

බැංකු අසාධාරණකම් නියාමනය කිරීම: SDB ඇතුළු බැංකු මගින් පවන ලබන අසාධාරණ පොලී සහ අමතර ගාස්තු අය කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් දැඩි නියාමනයක් සිදුකිරීම.

දේශීය ව්‍යාවසායකයා රැකගැනීමේ ජාතික වැඩපිළිවෙළක්: ඇදවැටී ඇති දේශීය නිෂ්පාදකයන් සහ ව්‍යාවසායකයන් නැවත නැගී සිටීමට අවශ්‍ය මුල්‍ය සහන සහ රාජ්‍ය අනුග්‍රහය ලබාදීම.

“අපිට ඕනේ බැංකුවලට පොලු තියන්න නෙවෙයි; අපිට ඕනේ නැගිටින්න. එකපාරටම අපේ ගෙවල්, ඉඩම් වෙන්දේසි කළාම අපි පාරට බහින්නේ කොහොමද? රජය වහාම මැදිහත් වෙලා මේ බැංකු ජාලයේ අසාධාරණ ක්‍රියාකලාපය නතර කරන්න ඕනෑ,” යැයි විරෝධතාවයට එක්වන ව්‍යාවසායකයකු පැවසීය.

දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යාවසායක සංවිධානය සහ SDB ණය අසාධාරණයට ලක්වූවන්ගේ සංවිධානය ප්‍රකාශ කරන්නේ තමන්ගේ සාධාරණ ඉල්ලීම්වලට නිසි විසඳුමක් ලැබෙන තෙක් මෙම සටන අතනොහරින බවයි.

Share.
Leave A Reply