■ නොබැඳි පිළිවෙත අහෝසි වී රට ගෝලීය යුද ගැටුම්වලට මැදිවීමේ දැඩි අවදානමක්!

■ CARAT 2026 ඒකාබද්ධ නාවික අභ්‍යාසය සහ ACSA ගිවිසුම් දීර්ඝ කිරීම පිටුපස විශාල බලපෑමක්!

■ පාර්ලිමේන්තු පක්ෂවල නිහඬතාව පිටුපස ඇති රහස කුමක්ද? – වෛද්‍ය ජී. වීරසිංහ

ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර දැනට ක්‍රියාත්මක ආරක්ෂක හා උපායමාර්ගික සහයෝගීතාව දැඩි ලෙස වර්ධනය වීම හමුවේ, ශ්‍රී ලංකාව ගෝලීය බලවතුන්ගේ යුද ගැටුම් මැදට තල්ලු වී යාමේ දැඩි අවදානමක් මතුව ඇතැයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය (CP) රජයට ප්‍රබල ලෙස අනතුරු අඟවා සිටියි.

ජාතික පුවත්පතක් වෙත අදහස් දක්වමින් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාව මෙතෙක් රැකගෙන ආ ඓතිහාසික “නොබැඳි විදේශ ප්‍රතිපත්තිය” සපථ කරමින්, බලවත් රාජ්‍යයන්ගේ හමුදාමය උපායමාර්ගවල කොටස්කරුවෙකු බවට පත්වීමේ තර්ජනයක් මේ වන විට නිර්මාණය වී ඇති බවයි.

ඒකාබද්ධ නාවික අභ්‍යාස

ත්‍රිකුණාමලය සහ කොළඹ කේන්ද්‍ර කරගනිමින් ඇමරිකානු නාවික හමුදාව, ඇමරිකානු වෙරළාරක්ෂක බලකාය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව පසුගියදා පවත්වන ලද ‘CARAT Sri Lanka 2026’ දින පහක ඒකාබද්ධ නාවික අභ්‍යාසය සම්බන්ධයෙන් කොමියුනිස්ට් පක්ෂය මෙහිදී දැඩි අවධානය යොමු කර තිබේ. කලාපීය බලතුලනය වෙනස් කරමින් මෙවැනි දැවැන්ත හමුදා සංදර්ශන පැවැත්වීම මඟින් අනෙකුත් කලාපීය බලවතුන්ගේ සැකය ශ්‍රී ලංකාව දෙසට යොමුවන බව පක්ෂයේ මතයයි.

විසුම් දීර්ඝ කිරීමේ සූදානමක්?

දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුම් (MoU) මෙන්ම, 2007 දී මුලින්ම අත්සන් කර 2017 දී අලුත් කරන ලද ප්‍රවේශ සහ පාර්ශ්වික සේවා ගිවිසුම (ACSA) ඉදිරියටත් දීර්ඝ කිරීමට පියවර ගනිමින් සිටින බවට ද තොරතුරු වාර්තා වන බව වෛද්‍ය වීරසිංහ මහතා සඳහන් කළේය.

එමෙන්ම, ඇමරිකානු සන්නද්ධ සේවා සහ බුද්ධි තොරතුරු පිළිබඳ නියෝජිත මන්ත්‍රී මණ්ඩල කාරක සභාවල සාමාජිකාවක වන ක්‍රිසි හුලහාන් (Chrissy Houlahan) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් ඉහළ මට්ටමේ කොංග්‍රස් නියෝජිත පිරිසකගේ හදිසි ශ්‍රී ලංකා සංචාරය, ඇමරිකාවේ ඉන්දු-පැසිෆික් උපායමාර්ගය ලංකාව තුළ වේගවත් කිරීමේ පියවරක් බවට ද චෝදනා එල්ල වේ.

විපක්ෂයේ නිහඬතාව ප්‍රශ්න කරයි

මෙවැනි අතිශය සංවේදී සහ ජාතික ආරක්ෂාවට මෙන්ම විදේශ ප්‍රතිපත්තියට ඍජුවම බලපාන හමුදාමය ගිවිසුම් සහ සබඳතා වර්ධනය වෙද්දී, පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ එකඳු වචනයක් හෝ කතා නොකර නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම කණගාටුදායක බව කොමියුනිස්ට් පක්ෂය වැඩිදුරටත් පෙන්වා දෙයි.

ලෝක බලවතුන් අතර පවතින උපායමාර්ගික සටනට ශ්‍රී ලංකාව බිලිදීම වහාම නතර කරන ලෙසත්, හමුදාමය ගිවිසුම් සම්බන්ධයෙන් විනිවිදභාවයකින් කටයුතු කරන ලෙසත් කොමියුනිස්ට් පක්ෂය රජයෙන් ඉල්ලා සිටියි.

Share.
Leave A Reply