වසර 200ක ශ්‍රම සූරාකෑමේ ඛේදවාචකය: ලක්ෂ 10ක වතු ජනතාව අගාධයට ඇද දැමූ බරපතල මානුෂීය සහ නීතිමය අර්බුදය මෙන්න!

“හැටන් ප්‍රකාශය” හුදු ලියවිල්ලක් පමණක් වෙද්දී, සක්‍රීය කම්කරුවන් ලක්ෂ 2කට උන්හිටිතැන් අහිමි කිරීමේ කුමන්ත්‍රණයක්!

ලංකාවේ වතු කම්කරු ජනතාව වසර 200 කට අධික ඉතිහාසය තුළ මුහුණ නොදුන් ආකාරයේ බරපතල මානුෂීය සහ නීතිමය අර්බුදයකට මේ වන විට මුහුණ දී සිටින බව ලංකා වතු කර්මාන්ත සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චාමර නානායක්කාර මහතා පැවසීය.

මැතිවරණ සමයන්හි දී දේශපාලන වේදිකාවල ප්‍රධානතම ඡන්ද ගොඩක් බවට පත්වන වතුකරයේ ලක්ෂ 10කට (මිලියනයකට) ආසන්න සමස්ත ජනගහනයෙන් බහුතරයකගේ මූලික මිනිස් අයිතිවාසිකම් මේ වන විට පාලකයින් සහ වතු සමාගම් හමුවේ අමු අමුවේ බිඳ වැටෙමින් පවතින බව දත්ත විශ්ලේෂණාත්මකව හෙළිදරව් කරමින් හෙතෙම ප්‍රකාශ කළේ ය.

මෙරට දැනට සිටින සක්‍රීය ලියාපදිංචි වතු කම්කරුවන් 150,000ත් 200,000ත් අතර පිරිසෙන් 70%කට වඩා වැඩි ප්‍රතිශතයකට තමන් ජීවත්වන නිවසේ හෝ ඉඩමේ කිසිදු නීත්‍යානුකූල ඔප්පු අයිතියක් නොමැති බවද ඔහු කීය.

බ්‍රිතාන්‍ය යුගයේදී ඉදිකරන ලද පර්චස් 1ක් හෝ 2ක් වැනි අතිශය සීමිත ඉඩකඩක් සහිත මිනිස් වාසයට සුදුසු නොවන අඳුරු ලයින් කාමර තුළ තවමත් වතුකරයේ බහුතරයක් ජීවිත අරගලයක යෙදී සිටින්නේ මූලික මානුෂීය පහසුකම් පවා අහිමි කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේ ය.

වතුකරයෙන් මේ වන විට ඇසෙන අතිශය ඛේදනීය පුවත වන්නේ, ඇතැම් වතු සමාගම් විසින් පවතින වැටුප් අර්බුද සහ කළමනාකරණ ගැටලු මුල් කරගනිමින් සාමකාමී වතු කම්කරු පවුල්වලට දින 7ක් ඇතුළත තමන් පරම්පරා ගණනාවක් ජීවත් වූ නිවෙස්වලින් ඉවත් වන ලෙස දන්වා ඇති බවද ඔහු කීය.

වැටුප් අර්බුද ඉදිරියට දමමින් සිදු කෙරෙන මෙම බලපෑම් සහ තර්ජන මුළුමනින්ම නීතිවිරෝධී මෙන්ම මානුෂීය සදාචාරයට පටහැනි අන්ත අමානුෂික ක්‍රියාවක් බව ද ඔහු සඳහන් කළේ ය.

වත්මන් පාලකයින් බලයට පත් වූ සැණින් වතු සමාගම්වල ලාභාංශ සහ නීතිමය රෙගුලාසි හමුවේ දණ නමා අසරණ වී ඇති බවට දමිළ දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් සංවිධාන රජයට චෝදනා කරන  බවද ඔහු ප්‍රකාශ කළේ ය.

ඓතිහාසික “හැටන් ප්‍රකාශය” මඟින් වතු ජනතාවට පොරොන්දු වූ ප්‍රධාන කරුණු 3ක් වත්මන් ආණ්ඩුවට අමතක වී ඇති බවද ඔහු කීය.

මේ යටතේ, රුපියල් 1700 ක දෛනික අවම වැටුපක් ලබා දීම,ජීවත් වන බිමෙන් පර්චස් 7ක ඉඩම් අයිතිය ලබා දීම, තනි නිවාස හිමිකම තහවුරු කිරීම වත්මන් ආණඩුව හිතා මතාම පැහැර හැර ඇති බවද හෙතෙම සඳහන් කළේ ය.

අඩු වැටුප් සහ නිසි ජීවන මට්ටමක් නොමැතිකම හේතුවෙන් වතුකරයේ තරුණ පරපුර ශීඝ්‍රයෙන් මෙම රැකියාවලින් ඉවත් වී නගර කරා සංක්‍රමණය වෙමින් පවතින බවත් මෙහි සෘජු ප්‍රතිඵලයක් ලෙස වසරින් වසර සක්‍රීය වතු කම්කරු සංඛ්‍යාව බරපතල ලෙස පහළ යමින් පවතින බවද ඔහු කීය.

වසර 200ක් පැවති වතු සංස්කෘතිය සහ සමස්ත වතු කර්මාන්තයම මේ වන විට දැවැන්ත කඩාවැටීමකට ලක්ව ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

Share.
Leave A Reply