ජනපති සහභාගිත්වයෙන්

මහාවිහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ 2026 උපසම්පදා රාජ්‍ය මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් ඓතිහාසික කළුතර බෝධිය අභියසදී අද (09)  පස්වරුවේ පැවැත්විණි.

උපසම්පදා විනයකර්ම මහෝත්සවය අද (09)  සිට ජූලි 22 දක්වා කළුතර කළු ගඟේ ස්ථාපිත උදකුක්ඛේප සීමා මාලකයේදී පැවැත්වෙන අතර, සාමණේර හිමිවරුන් 400කට අධික පිරිසක් ඊට සහභාගි වීමට නියමිතය.

වසර තුනකට වරක් පැවැත්වීමට නියමිත මෙම රාජ්‍ය උපසම්පදා විනය කර්මය මෙවර පැවැත්වෙන්නේ වසර නවයකට පසුව වීම විශේෂත්වයකි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය ජනවාරි  01වනදා ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහනායක හිමිපාණන් වහන්සේ බැහැදැක නව වසරට ආශීර්වාද ලබා ගැනීමට ගිය අවස්ථාවේදී උන්වහන්සේ කළ ඉල්ලීමකට අනුව අමරපුර මහා නිකායේ උපසම්පදා මහෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හින්දුම සුනිල් සෙනෙවි මහතා සඳහන් කළේ වත්මන් රජය සිය රාජ්‍ය පාලනයේදී නිරන්තරයෙන් මහා සංඝරත්නයේ අවවාද, අනුශාසනා සහ මගපෙන්වීම ලබා ගැනීමට කටයුතු කරන බවයි. එමෙන්ම, බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් රජයක් ලෙස සිදු කළ යුතු සියලු මැදිහත්වීම් නොඅඩුව සිදු කිරීමට රජය කැපවී සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

මහාවිහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහාමහෝපාධ්‍යාය, අමරපුර චූලගණ්ඨි පාර්ශ්වයේ මහානායක, සාහිත්‍යශූරී,  අතිපූජ්‍ය ගන්තුනේ අස්සජි මහානායක හිමිපාණන් වහන්සේ සහ මහාවිහාරවංශික   ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ උත්තරීතර මහනායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානායක හිමිපාණන් වහන්සේ මෙහිදී විශේෂ අනුශාසනා සිදු කළහ.

“අමරපුර ශාස්ත්‍රීය සංග්‍රහයද” මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.  

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ  වැඩබලන සභාපති අතිපූජ්‍ය මාගාල්ලේ නාගිත නායක හිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී අතිපූජ්‍ය බලපිටියේ සිරිසීවලී නායක හිමිපාණන් වහන්සේ  ප්‍රමුඛ මහානායක, අනුනායක හිමිපාණන්වහන්සේද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය වලේබොඩ ගුණසිරි හිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී අතිපූජ්‍ය අත්තංගනේ සාසනරතන නායක ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නයද, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර,  හිටපු කථානායක කරු ජයසූරිය යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයෝද, කළුතර දිස්ත්‍රික් ලේකම් එච්. එම්. එස්. පී. හේරත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහුද, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ දායක සභාවේ සභාපති අජිත් ද සොයිසා, භාණ්ඩාගාරික ධම්මික සමරවික්‍රම, කළුතර බෝධිභාරකාර මණ්ඩල සාමාජික අශාන්ද සොයිසා යන මහත්වරු සහ අමරපුර මහා සංඝ සභාවේ දායක සභාවේ සාමාජිකයෝ ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share.
Leave A Reply