තාප්ප පවුරෙන් වැසුණු යක්ෂාගාරය: මීගමුව බන්ධනාගාරය ලේ විලක් කළ බිහිසුණු පැය 48!

“සිරකරුවෙකු ද මනුෂ්‍යයෙකි” බෝඩ් ලෑල්ල ලෙයින් සේදී ගිය රාත්‍රිය!

මීගමුවෙන් ඇසුණු මරණයේ සසල කතාව: ධාරිතාව හතර ගුණයකින් පුපුරා ගිය සිපිරිගෙයි අළු යට ගින්දර!

ඉලක්කම් 42,034ක් මැද හුස්ම හිරවුණු මනුෂ්‍යත්වය සහ මීගමුවේ ලේ වැගිරීම්!

“පරිස්සමෙන් ගිහින් එන්න…” නිල ඇඳුමේ අභිමානයෙන් නික්ම ගොස් නිහඬ දේහයන් වූ වීරයන් හත්දෙනාගේ කඳුළු කතාව!

“තාත්තා අද රෑට එයිද?” මඟ බලා සිටින සිඟිති දෑස්වලට කෲර යථාර්ථය වටහා දෙන්නේ කෙසේද?

ලක්මව හඬවමින් රාජකාරිය වෙනුවෙන් දිවිපිදූ ඒ උදාර බන්ධනාගාර වීරයන්ගේ නිහඬ අභිමානය!

වැරදිකරුවන් කවුරුන් වුවද හඬා වැටෙන මව්වරුන්ගේ සුසුම් එක හා සමානය!

ධාරිතාව 10,395 යි; රැඳවියන් 42,034 යි! හිරගෙවල් පුපුරන මට්ටමට සිරකරුවන් සිව්ගුණයකින් ඉහළ යාමේ බිහිසුණු ඵලවිපාක!

නඩු තීන්දුවකට වසර 10ක්! 75%ක් රිමාන්ඩ් සැකකරුවන් සිර මැදිරිවල තෙරපීමේ අවසානය සමූහ මිනිස් ඝාතනයක්ද?

තොරතුරු වසන් කිරීමේ නිලධාරීවාදී බාධා: මීගමුව බන්ධනාගාර ප්‍රචණ්ඩත්වය තවදුරටත් අවුළුවාලූ හැටි!

මිෂෙල් ෆූකෝ කී “අපරාධ විශ්වවිද්‍යාලය” ලංකාව තුළ සැබෑවක් වීද?

කැරැල්ලට හේතුව රැඳවියන්ගේ මතගැටුමක්ම පමණක්ද? නැතහොත් පද්ධතියේ දරුණු නඩු පමාවද?

රාජ්‍ය භාරයේ සිටින අයගේ ආරක්ෂාව කොහේද?” මීගමුව ඛේදවාචකය වෙනුවෙන් හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි!

නිමල් අල්ගෙවත්ත 2026.07.12

ලේන්සුවෙන් වැසුණු මීගමුවේ ‘කළු ජූලිය’ කතා සිරගෙදර අන්දරය. සිපිරිගෙය යක්ෂාගාරයක් කළ පැය 48ක ලේ වැගිරීම් සහ මනුෂ්‍යත්වයේ මරණ මංචකයේ කතාව මේ රටේ තවත් භිෂණයක් රටට මතක් කළ කළු ජූ    ලියකි. මෙය අපේ කාලයේ අලුත්ම ජූලි හතයි මළ කෙලියයි කියන කතාව සිහිපත් කිරීමකි.

සත්තකින්ම ඕනෑම රටක ශිෂ්ටාචාරයේ තරම මැනිය හැක්කේ එම රටේ මාලිගා දෙස බලා නොව, බන්ධනාගාරයකට පය තැබීමෙනි.

රුසියානු මහා ලේඛක ෆියෝඩර් දොස්තයෙව්ස්කි මීට සියවසකට පෙර ලෝකයට දායාද කළ ඒ දර්ශනය ශ්‍රී ලාංකීය අපට අද අදාළ වන්නේ කෙලෙසද? එම මිනුම් දණ්ඩෙන් මැන බැලුවහොත් මානුෂීය ගුණධර්ම අතින් අප අද සිටින්නේ ශිෂ්ට සමාජයකද, නැතහොත් ම්ලේච්ඡත්වයේ පතුලේද?

පසුගිය ජූලි 05 සහ 06 යන දෙදින පුරා මීගමුව බන්ධනාගාරයේ සිව්දෙස තාප්ප පවුරු අතරින් ඇසුණේ මිනිස් ප්‍රාණයන් නිරුද්ධ වන බිහිසුණු විලාපයයි. වසර ගණනාවක් තිස්සේ නිහඬව පැසවමින් තිබූ අර්බුදයක ගිනිකන්ද, ක්ෂණිකව පුපුරා ගියේ මුළු මහත් රටම තැතිගන්වමිනි.

මෙම ඛේදවාචකයෙන් අවසානයේ රාජකාරිය වෙනුවෙන් කැපවූ බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවියන් ඇතුළු මිනිස් ජීවිත 26ක් මේ පොළොවට පස් වී අවසන්ය. තවත් සියයකට අධික පිරිසක් බරපතල තුවාල ලබා රෝහල් ඇඳන් මත ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටිති.

ජූලි 05 වැනිදා උදෑසන මීගමුව බන්ධනාගාරයට උදාවූයේ සාමාන්‍ය දිනයක් පරිදිය. එහෙත් එම නිහඬතාවය මහා කුණාටුවකට පෙරනිමිත්තක් බව කිසිවෙකුත් දැන සිටියේ නැත. නිල වාර්තාවලට අනුව, ගැටුමට ක්ෂණික හේතුව වී ඇත්තේ රැඳවියන් කණ්ඩායම් දෙකක් අතර ඇති වූ සුළු බහින්බස්වීමකි. එහෙත් එය සුළු මොහොතකින් බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් අතර මහා පරිමාණයේ සටනක් දක්වා ලැව්ගින්නක් මෙන් ව්‍යාප්ත විය.

සිර මැදිරි බිඳ දමමින් කාර්යාල ලිපිගොනු සහ ගොඩනැගිලි ගිනිබත් කරමින් ඇවිළුණු නොසන්සුන්තාව පාලනය කිරීමට පොලිස් කැරළි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවීමට සිදුවිය. බන්ධනාගාරය තුළින් නොනවත්වා ඇසුණු වෙඩි හඬවල් කඳුළු ගෑස් ප්‍රහාර සහ ලේ වැගිරීම් මැද මුළු පරිශ්‍රයම මිනිස් ඝාතකාගාරයක් බවට පත් විය.

මෙම ප්‍රචණ්ඩත්වය තවදුරටත් තීව්‍ර වීමට බලධාරීන්ගේ සන්නිවේදන අවහිරතා ද හේතු වූ බව සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති සේනක පෙරේරා මහතා පෙන්වා දෙයි.

සිදුවීමෙන් පසු තම ඥාතීන්ගේ තත්ත්වය පිළිබඳව පවුල්වලට නිවැරදි තොරතුරු ලබා නොදීම සහ රැඳවියන්ට පිටත ලෝකය සමඟ සන්නිවේදනය කිරීමට ඉඩ නොදීම හේතුවෙන් බන්ධනාගාරය තුළ දැඩි බියක් සහ මානසික ආතතියක් නිර්මාණය වූ අතර එම නිලධාරීවාදී බාධා කිරීම් ප්‍රචණ්ඩත්වය තවදුරටත් අවුළුවාලීය.

මාරාන්තික පොරයට සැබෑ හේතුව කමුක් ද ? ඉලක්කම්වලින් වැසුණු මනුෂ්‍යත්වය රහස කුමක් ද? යන්න රටේම ජනතාව බලා සිටින අරමුණකි.

මේ ගැටුම හුදෙක් රැඳවියන්ගේ පුද්ගලික කෝන්තරයක් නිසා සිදුවූවක්ද? නැත. එහි සැබෑ විද්‍යාත්මක හේතුව රට හමුවේ දැකිය හැකිය.

ශ්‍රී ලංකාවේ සමස්ත බන්ධනාගාර පද්ධතියේම නිල වශයෙන් රඳවා තැබිය හැක්කේ රැඳවියන් 10,395 ක් පමණයි. නමුත් 2026 ජූනි අග වන විට බන්ධනාගාර තුළ 42,034 ක පිරිසක් ගාල් කර තිබේ. ධාරිතාව මෙන් හතර ගුණයකට වඩා සිරකරුවන් ඉන්නකොට වැසිකිළියට යන්න, ආහාර ගන්න, නිදාගන්න වගේම තමන්ගේ ඥාතීන් හමුවෙන්නත් මිනිසුන්ට මාරාන්තික පොරයකට තල්ලු වෙන්න සිද්ධ වේ.

මේ මානසික පීඩනය නිසා ගැටුම් ඇතිවීම පුදුමයක් නොවේ. මෙම දත්ත හුදෙක් ඉලක්කම් පමණක් නොවේ. රැඳවියන්ගෙන් 75% ක්ම වැරදිකරුවන් වූ සිරකරුවන් නොව, නඩු විභාග වෙමින් පවතින රක්ෂිත බන්ධනාගාරගත (රිමාන්ඩ්) සැකකරුවන්ය.

එක් අධිකරණයක සාමාන්‍යයෙන් නඩු 3,303 ක් වැනි අධික ප්‍රමාණයක් ගොඩගැසී පවතින අතර පොලීසියට පැමිණිල්ලක් කළ දවසේ සිට නඩු තීන්දුවක් ලැබීමට සාමාන්‍යයෙන් වසර 10යි මාස 2ක දීර්ඝ කාලයක් ගතවේ.

නීතිපති උපදෙස් ප්‍රමාද වීම සහ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම නිසා මිනිසුන් වසර ගණන් සිර මැදිරිවල තෙරපෙමින් ලැගීම මේ “ගිනි කන්ද” පුපුරා යාමට ප්‍රධානතම හේතුවයි.

පරිස්සමෙන් ගිහින් එන්න ආදරෙයි. නිල ඇඳුමෙන් වැසුණු ආදරණීය හදවත් කතාවහදවතේ දුක් ගී ගැයෙන කතාවකි. මෙහිදි සිරකරුවන්ගේ මරණයද හද කම්පා කරන්නේ ය.

මෙම ඛේදවාචකයේ වඩාත්ම අනුකම්පිත සහ සංවේදී පැත්ත වන්නේ රාජකාරිය වෙනුවෙන් ජීවිතය පූජා කිරීමට සිදු වූ බන්ධනාගාර නිලධාරීන්ගේ ඉරණමයි.

“පරිස්සමෙන් ගිහින් එන්න…” කියා එදා උදෑසනත් නිවසින් සිනාසෙමින් දරු පැටවුන් සිපගෙන පිටත්ව ගිය ඒ ආදරණීය තාත්තලා, ස්වාමිපුරුෂයන් සහ පුතුන් හත්දෙනා.

අද මුළු රටක්ම හඬවමින් නිහඬ දේහයන් ලෙස නිවෙස්වලට හැරී පැමිණ ඇත. නිල ඇඳුමෙන් වැසී තිබුණේ දැඩි විනයක් පමණක් නොවේ. ඒ තුළ මහා මෙරක් තරම් බලාපොරොත්තු, දරු සෙනෙහස සහ පවුලේ අනාගතය පිළිබඳ සිහින සඟවාගත් සංවේදී මිනිස් හදවත් තිබුණි.

“තාත්තා අද රෑට එනකොට කෑම කනවා…” කියා මඟ බලා සිටින සිඟිති දරුවන්ගේ අහිංසක දෑස්වලට, “ඔහු තවදුරටත් මේ ලෝකයේ නැත” යන කටුක සත්‍යය වටහා දෙන්නේ කෙසේද? යුතුකම සහ වගකීම අකුරටම ඉටුකරන්නට ගොස් තමන්ගේම ජීවිතයෙන් වන්දි ගෙවූ ඒ උදාර බන්ධනාගාර නිලධාරීන්ගේ වීරත්වය සහ පරිත්‍යාගය මුළු මහත් ජාතියේම ගෞරවාදරයට පාත්‍ර විය යුතුය.

මීගමුව බන්ධනාගාර ලේ වැගිරීම් පිළිබඳව පාර්ලිමේන්තුවේ හදිසි අවධානය යොමු කරමින් විශේෂ විවාදයක් පවත්වන ලෙස විපක්ෂය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගෙන් නිල වශයෙන් ඉල්ලා තිබිණි.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 19/1 යටතේ හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරන්නේ බන්ධනාගාරගත කර සිටින හෝ රිමාන්ඩ් භාරයේ සිටින සෑම පුද්ගලයෙකුම සිටින්නේ “රාජ්‍ය භාරයේ” බවයි.

රාජ්‍ය භාරයේ සිටින සිරකරුවන් සහ රැඳවියන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ මූලික සහ පූර්ණ වගකීම තිබෙන්නේ ආණ්ඩුවටයි. ඒ අනුව මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ මෙම ඝාතන සහ තුවාල සිදු වීම්වල සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතුයි යනුවෙන් විපක්ෂය පෙන්වා දෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහතා යටතේ මේ වන විට විමර්ශන ක්‍රියාත්මක වුවද නැති වූ ජීවිත නැවත ලබාදීමට කිසිවෙකුට නොහැකි ය.

“සිරකරුවෙකු ද මනුෂ්‍යයෙකි” යන්න බෝඩ් ලෑල්ලකට පමණක් ද? යන්න කල්පනා කළ යුතුය.

දකුණු අප්‍රිකාවේ අසමසම නායක නෙල්සන් මැන්ඩෙලා වරක් මෙසේ කියා තිබුණි.කිසිවෙකුට තම රට ගැන සැබෑ වැටහීමක් ලැබිය නොහැක්කේ ඔහු එහි බන්ධනාගාරයකට ඇතුළු වන තුරුය. ජාතියක් විනිශ්චය කළ යුත්තේ එහි ඉහළම පුරවැසියන්ට සලකන ආකාරයෙන් නොව, පහළම පුරවැසියන්ට සලකන ආකාරයෙනි.

අපරාධ විද්‍යාවට අනුව බන්ධනාගාරයක මූලික අරමුණ “පුනරුත්ථාපනය” මිස “පලිගැනීම” නොවේ. බන්ධනාගාරගත වන පිරිසෙන් 60%කට වඩා වැඩි පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ය. ඔවුන් වැරදිකරුවන්ට වඩා රෝගීන්ය. රෝගීන්ට දිය යුත්තේ ප්‍රතිකාර මිස දඬුවම් නොවේ.

ප්‍රංශ දාර්ශනික මිෂෙල් ෆූකෝ වරක් පැවසුවේ බන්ධනාගාර විසින් මිනිසුන් නිවැරදි කරනවා වෙනුවට, ඔවුන් වඩාත් දරුණු අපරාධකරුවන් බවට පත් කරන “අපරාධ විශ්වවිද්‍යාල” නිර්මාණය කරන බවයි.

ලංකාවේ තත්ත්වය ද අද වන විට එයට දෙවැනි නොවේ. සුළු වරදකට හිරගෙට යන තරුණයා එළියට එන්නේ මහා පරිමාණ පාතාල කල්ලියක සාමාජිකයෙකු ලෙසිනි.

මීගමුව බන්ධනාගාරය තුළ ඉකුත් (06) වැනිදා සිදුවූ අතිශය නොසන්සුන්කාරී තත්ත්වය සහ ඉන් බන්ධනාගාර නිලධාරීන් පිරිසක් ඝාතනය වීමේ සිදුවීමේ සම්පූර්ණ වගකීම රජයක් වශයෙන් භාරගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා අවධාරණය කළේ බන්ධනාගාරය තුළ සිදු වූ වැරදීම් නිවැරදි කර ගනිමින් මෙවැනි ඛේදවාචකයන් නැවත ඇති නොවීමට වගබලා ගැනීම රජයේ ප්‍රමුඛ වගකීමක් බවයි.

මෙම බන්ධනාගාර ගැටුම මත්ද්‍රව්‍ය (කුඩු) සහ පාතාලයට සම්බන්ධ කණ්ඩායම් දෙකක් අතර ඇති වූවක් බවට දැනට අනාවරණය වී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය. බන්ධනාගාරය තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව නිලධාරීන්ට තොරතුරු ලබා දුන් රැඳවියන් පිරිසක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය මුලින්ම එල්ල වී තිබේ.

ප්‍රහාරය දියත් කළ රැඳවියන් පිරිස සංවිධානාත්මකව බන්ධනාගාරය තුළ තිබූ CCTV කැමරා පද්ධතිය සහ බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය ඇතුළුවීම වැළැක්වීම සඳහා සවිකර තිබූ “බොඩි ස්කෑනර්” (Body Scanner) යන්ත්‍රය ද සම්පූර්ණයෙන්ම කඩා බිඳ දමා ඇත. මත්ද්‍රව්‍ය සහ අනීතික දේවල් බන්ධනාගාරය තුළට ගැනීමට තිබෙන ආරක්ෂක යාන්ත්‍රණය අඩපණ කිරීම ප්‍රහාරකයන්ගේ ප්‍රධාන අරමුණ වී ඇති බව මෙයින් පැහැදිලි වන බවද අමාත්‍යවරයා කීය.

ප්‍රහාරයේදී මුලින්ම ලක්ව ඇත්තේ නිරායුධ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකි. ඔවුන් බේරාගැනීමට අනෙක් නිලධාරීන් ඉදිරිපත් වූ අවස්ථාවේදී ප්‍රහාරකයන් විසින් ඔවුන්ට අමානුෂික ලෙස පහර දී ඇති අතර, ඉන් බහුතරයක් නිලධාරීන් ජීවිතක්ෂයට පත්ව ඇත. බන්ධනාගාරය තුළ තමන්ගේ රාජකාරිය දිවි හිමියෙන් ඉටුකළ එම නිලධාරීන්ට අමාත්‍යවරයා මෙහිදී සිය ගෞරවය පුද කළේය.

එමෙන්ම, ප්‍රහාරයට සම්බන්ධ රැඳවියන් බන්ධනාගාරයේ යකඩ දොරවල් පවා කඩාගෙන පිටතට පැමිණ ඇති අතර, දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව ඔවුන් සන්තකයට යම් ආයුධ කිහිපයක් ද පත්ව ඇත. බන්ධනාගාරයක් තුළට මෙවැනි ආයුධ සැපයුණේ කෙසේද යන්න පිළිබඳව ද දැඩි අවධානය යොමුව තිබේ.

මෙම බන්ධනාගාර පරිශ්‍රය තුළ සිදුවූ බරපතළ ආරක්ෂක දෝෂයන්, බන්ධනාගාර තදබදය හෝ වෙනත් යටිපෙළ හේතූන් පිළිබඳව සෙවීම සඳහා මේ වන විට විධිමත් පූර්ණ විමර්ශන තුනක් (03) ආරම්භ කර තිබේ.

සිද්ධියට හේතු සහ ඉදිරි ක්‍රියාමාර්ග සෙවීම සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් විශේෂ කමිටුවක් පත් කරමින් පවතී. එහි සාමාජිකයන් ලෙස විශ්‍රාමික විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා, විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක මහතා සහ ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා යන ජේෂ්ඨ නීතිවේදීන් පත් කර ඇත.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පොලිසියට කරන ලද නිල පැමිණිල්ලකට අනුව CID කණ්ඩායම් විසින් අපරාධ විමර්ශන ආරම්භ කර ඇත.

බන්ධනාගාර නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් අභ්‍යන්තර පරිපාලනමය විමර්ශනයක් ද මේ වන විටත් ක්‍රියාත්මක වේ.

මෙම කරුණු සියල්ල තමාට දැනට ලැබී ඇති මූලික තොරතුරු පමණක් බවත්, සිද්ධියේ සැබෑ තත්ත්වය සහ අවසන් නිගමන ඉදිරි දිනවලදී නිකුත් වීමට නියමිත ඉහත පරීක්ෂණ කමිටු වාර්තා මඟින් තහවුරු කරගත හැකි වනු ඇති බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මීගමුව බන්ධනාගාරයේ සිමෙන්ති පොළොව මත වැගිරුණු ලේ ධාතුව සේදී වියළී යනු ඇත. නමුත් එමඟින් සමාජ හෘද සාක්ෂියට එල්ල කළ කණේ පහර සහ ඉතිරි කළ කළු පැල්ලම මැකී යාමට තවත් දශක ගණනාවක් ගතවනු නොඅනුමානය.

සිරකරුවා ද මනුෂ්‍යයෙකු බව පිළිගත යුත්තේ බන්ධනාගාර තාප්පවල අලංකාරව ලියා ඇති බෝඩ් ලෑලිවලින් පමණක් නොවේ. රස පරීක්ෂක දෙපාර්තමේන්තුව නවීකරණය කිරීම, නඩු කඩිනම් කිරීම, විකල්ප දඬුවම් ක්‍රම (සමාජ සේවා වැනි) හඳුන්වා දීම සහ බන්ධනාගාර තුළ මානුෂීය පරිසරයක් මෙන්ම නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අත්‍යවශ්‍යය.

වැරදිකරුවන්ට දඬුවම් දිය යුතුය. එය නීතියේ ආධිපත්‍යයයි. නමුත් එම දඬුවම ඇතුළත මනුෂ්‍යත්වය සහ ආදරය මිය යාමට ඉඩ හැරියහොත් සමාජයක් ලෙස අප සියල්ලන්ම වැරදිකරුවන් වනු ඇත.

දැන්වත් අප කළ යුත්තේ වැරදිකරුවන් සෙවීම පමණක් නොව සමස්ත පද්ධතියේම ඇති ලෙඩේට නිවැරදි බෙහෙත් දීමයි. කෙදිනක හෝ සිපිරිගෙවල් සැබෑ ලෙසම “මිනිසුන් නිවැරදි කරන ස්ථාන” බවට පත්වන තෙක් මෙවැනි “කළු ජූලියන්” අපව තවදුරටත් හඬවනු ඇත.

Share.
Leave A Reply