මීගමුව බන්ධනාගාරයේ සිදු වූ ඛේදවාචකයේ සමස්ත වගකීම භාරගෙන අධිකරණ හා බන්ධනාගාර විෂය භාර ඇමැති හර්ෂණ නානායක්කාර මහතා වහාම තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේගය අවධාරණය කරයි.

අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා කියා සිටියේ, ඇමැතිවරයා තවදුරටත් එම ධුරයේ රැඳී සිටින්නේ නම් මෙම සිදුවීම සම්බන්ධයෙන් කිසිදු සාධාරණ හෝ ස්වාධීන පරීක්ෂණයක් බලාපොරොත්තු විය නොහැකි බවයි. සාධාරණ පරීක්ෂණයකට ඇති එකම ඉඩකඩ ඇමැතිවරයා ධුරයෙන් ඉවත් වීම පමණක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

රජයට සහ ජනාධිපතිවරයාට බල කරමින් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය:

“අමාත්‍යවරයාට තමන්ගේ තනතුරේ ගෞරවය රැකගනිමින් වහාම ඉල්ලා අස්වන ලෙස අප බලකර සිටිනවා. යම් හෙයකින් ඔහු ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වීමට කටයුතු නොකරන්නේ නම්, ජනාධිපති අනුර දිසානායක මහතා වහාම ක්‍රියාත්මක වී ඔහුව ධුරයෙන් පලවා හැරිය යුතුයි.”

සමගි ජන බලවේගය රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ, වගකීම් විරහිත ඇමැතිවරයා වහාම ඉවත් කර, ඒ වෙනුවට එම විෂයය හැසිරවිය හැකි වෙනත් වගකිවයුතු පුද්ගලයෙකු පත් කර මීගමුව බන්ධනාගාර සිද්ධිය පිළිබඳ ස්වාධීන හා විනිවිදභාවයකින් යුත් පරීක්ෂණයක් වහාම ආරම්භ කරන ලෙසයි.

Share.
Leave A Reply