ලෝකයෙන් 12%ක් සමුපකාරයේ: ලංකාවේ පවුල් 5කින් 4ක්ම සාමාජිකයෝ!
ගෝලීය වශයෙන් බිලියන 1.2ක ජනතාවකගේ ජීවනාලිය වෙමින් ලෝක ශ්‍රම බලකායෙන් 10%කට (මිලියන 280කට) රැකියා සපයන සමුපකාර ව්‍යාපාරය ශ්‍රී ලංකාව තුළ දේශපාලනීකරණය සහ තාක්ෂණික පසුගාමිත්වය හේතුවෙන් සමුපකාර සමිති 14,000 ක් කඩා වැටීමේ බරපතල අවදානමකට ලක්ව ඇතැයි සමූපකාරය සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති උපාලි චන්ද්‍රසිරි මහතා පවසයි.
ජූලි 04 යෙදෙන ජාත්‍යන්තර සමුපකාර දිනය නිමිත්තෙන් දේශීය හා ගෝලීය දත්ත විශ්ලේෂණය කිරීමේදී මේ බරපතල ව්‍යවසනය සමුපකාරය හමුවේ ඇතැයි ඔහු කීය.
ලොව පුරා සමුපකාර සමිති මිලියන 3ක් ක්‍රියාත්මක වන බවත් ඉන් ඉහළම ආයතන 300හි වාර්ෂික පිරිවැටුම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2.1 ක් ලබන බවද හෙතෙම කීය.
මෙරට සමුපකාර සමස්ත සාමාජිකත්වය මිලියන 8කට ආසන්න වන එය දළ වශයෙන් ලංකාවේ සෑම පවුල් 5කින් 4ක්ම සමුපකාරය සමඟ බැඳී සිටීන බව ද ඔහු කීය.
දිවයින පුරා විවිධ සේවා සනස සහ නිෂ්පාදන සමිති 14,000කට අධික ප්‍රමාණයක් සහ ‘Co-op City’ ඇතුළු සිල්ලර වෙළෙඳ සැල් 10,000ක් විහිදී පවතින බව ද ඔහු ප්‍රකාශ කළේය.
මෙතරම් දැවැන්ත පාරිභෝගික පදනමක් සහ දේපළක් සතුව තිබුණද, මත්මන් ආණ්ඩුවේ පාලකයන්ද රට පාලනය කළ පාලකයෝ ද සමුපකාරය විනාශ කිරීමට කටයුතු කිරීම බරපතල තත්ත්වයක් බව ඔහු ප්‍රකාශ කළේය.
පෞද්ගලික සුපිරි වෙළෙඳ සැල් ජාල තාක්ෂණයෙන් ඉදිරියට යද්දී සමුපකාරය තවමත් පැරණි ක්‍රමවේදවල සිරවී සිටින බවද හෙතෙම කීය.
මීට අමතරව ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ අනිසි මැදිහත්වීම් සහ මූල්‍ය අවභාවිතය හේතුවෙන් මහජන විශ්වාසය බිඳවැටෙමින් පවතින බවද ඔහු කීය.
ලෝක ආහාර හා ආර්ථික අර්බුද හමුවේ දේශීය නිෂ්පාදකයා රැකගෙන පාරිභෝගිකයාට සහන සැලසීමට නම් වහාම මෙම ආයතන දේශපාලනයෙන් මුදාගෙන 100%ක් පරිගණකගත කළ යුතු බව ද සමූපකාරය සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති උපාලි චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේය.

