පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ දින සැමරුම සහ ආදි විද්‍යාර්ථි විශිෂ්ටතා සම්මාන උළෙල 2026 ජූලි මස 01 වන දින එම විශ්වවිද්‍යාලයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා විවිධ වෘත්තිය ක්ෂේත්‍ර නියෝජනය කරමින් ආදි විද්‍යාර්ථිහු විශාල පිරිසක් සහභාගී වූහ.

උත්සවයේ ආරම්භයේදී ආරාධිතයින් විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ ශ්‍රීමත් අයිවර් ජෙනින්ග්ස් මහතාගේ පිළිරුවට පුෂ්ප උපහාර දැක්වීම සහ විශ්වවිද්‍යාලයීය භූමියයේ පැළ රෝපණය කිරීම සිදු කළ අතර, මෙවර නිර්මාතෘ දින දේශනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා විසින් සිදු කරන ලදී.

විවිධ වෘත්තීය ක්ෂේත්‍ර ඔස්සේ රටට සහ ලෝකයට සුවිශේෂී දායකත්වයක් සැපයූ පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ආදි විද්‍යාර්ථින් රැසක් මෙහිදී උපහාරයට පාත්‍ර විය. ඒ අනුව, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහ අධ්‍යාපන,උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ද මෙම විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබූහ.

එක් එක් ක්ෂේත්‍රයන්ට අදාළව සම්මානයෙන් පිදුම් ලැබූ සෙසු ආදි විද්‍යාර්ථින් අතර කෘෂිකර්ම ක්ෂේත්‍රයෙන් මහාචාර්ය ආර්. ඕ. තටිල්, ආචාර්ය ජෙරි ජයවර්ධන, චතුරංග බෝපෙත්ත යන මහත්වරු ද, සම සෞඛ්‍ය විද්‍යා ක්ෂේත්‍රයෙන් ආචාර්ය දනන්සූරිය බෝගොඩගේ මහින්ද වික්‍රමරත්න සහ චතුර ජයරුක් හොරදිගල යන මහත්වරු ද වූහ.

කලා අංශයෙන් පූජ්‍ය මුරුද්දෙණියේ ධම්මරතන හිමි සහ ආර්.එම්. පී. බී. රත්නායක මහතා ද, දන්ත වෛද්‍ය අංශයෙන් මහාචාර්ය ලක්ෂ්මන් සමරනායක සහ මහාචාර්ය ආර්. එල්. විජේවීර යන මහත්වරු ද මෙහිදී සම්මානයට පාත්‍ර වූහ. මීට අමතරව, ඉංජිනේරු අංශයෙන් ඉංජිනේරු ලංකාජිත් පන්නිල මහතා, විද්‍යා අංශයෙන් ආචාර්ය ගාමිණී ධර්මසේන සහ මහාචාර්ය සිරිල් විජේසුන්දර යන මහත්වරු මෙන්ම කළමනාකරණ අංශයෙන් මහේෂ් ප්‍රියදර්ශන වරගොඩ මහතා ද උපහාර ලැබූහ.

වෛද්‍ය අංශයෙන් මහාචාර්ය වසන්ති තේවානේසම් මහත්මිය සහ මහාචාර්ය දේශබන්දු කපිල ගුණවර්ධන මහතා ද, පශු වෛද්‍ය අංශයෙන් මහාචාර්ය අයෝනා සිල්වා ෆ්ලෙචර් මහත්මිය සහ ආචාර්ය බී.එම්. ඒ. ඕ. පෙරේරා මහතා ද සම්මානයෙන් පිදුම් ලැබූහ. එමෙන්ම මධ්‍යයම මට්ටමින් ආචාර්ය ගාමිණී සමරනායක, මහාචාර්ය වසන්ත රූපසිංහ සහ ආචාර්ය අර්ජුන තිලකරත්න යන මහත්වරු ඇගයීමට ලක් වූහ.

මෙහිදී විශේෂ අංගයක් ලෙස, පසුගිය වසරේ ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් විශ්වවිද්‍යාල පරිශ්‍රයට සිදු වූ දැඩි හානි මධ්‍යයේ, ඉතා කෙටි කාලයක් තුළ විශ්වවිද්‍යාලය යථා තත්ත්වයට පත් කිරීමට දායක වූවන් ඇගයීම සිදු කෙරිණි. අධ්‍යයන කටයුතු බාධාවකින් තොරව නැවත ආරම්භ කිරීමට කැපවූ ආදි විද්‍යාර්ථින්, වත්මන් සිසුන්, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල ඇතුළු සියලුම පාර්ශවයන් වෙත මෙහිදී විශේෂ ස්තූතිය පිරිනැමුණි.

මෙම සුවිශේෂී අවස්ථාව සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත්, පීඨාධිපතිවරුන්, අංශ ප්‍රධානීන්, විශ්වවිද්‍යාලීය අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Share.
Leave A Reply