විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ පැමිණිලි සඟවන යුගය නිමා කරමින්, ඔවුන්ගේ සියලු ගැටලුවලට ක්ෂණික ඩිජිටල් විසඳුම් ලබා දෙන ‘LankaKonect’ ජංගම දුරකථන යෙදවුම (Mobile App) අද (16) නිල වශයෙන් දියත් කෙරිණි. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී මෙම සේවාව ආරම්භ වූයේ ජාත්‍යන්තර ගෘහ සේවකයන්ගේ දිනයට සමගාමීවය.
“රටේ ආර්ථිකය වැටුණු හැම වෙලාවකම ශක්තියක් වුණු විදේශගත ජනතාවගේ ප්‍රශ්නවලට මීට පෙර විසඳුම් තිබුණේ නැහැ. අද අපි ඒකට ස්ථිර විසඳුමක් දීලා තියෙනවා,” යැයි අමාත්‍යවරයා මෙහිදී දැඩිව කියා සිටියේය.
තමන් දැමූ පැමිණිල්ලට රාජ්‍ය ආයතන ගෙන ඇති පියවර කුමක්දැයි පුරවැසියාට සජීවීව බලාගත හැක.
මෙම පද්ධතිය අදාළ පුරවැසියා, විදේශ තානාපති කාර්යාලය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ අමාත්‍යාංශය එකවර සම්බන්ධ කරන බැවින් වගවීම 100% කි.
ලිඛිතව පමණක් නොව, හඬ පට (Voice Notes), ඡායාරූප හෝ වීඩියෝ මගින් ද තමන්ගේ ගැටලුව ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.
සෑම ප්‍රේෂණයක් පිටුපසම ඇති දුක්ඛිත කතාවට මේ තුළින් ඇහුම්කන් දෙන බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
SLT Mobitel ආයතනයේ තාක්ෂණික දායකත්වයෙන් සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) මූල්‍යමය දායකත්වයෙන් ක්‍රියාත්මක මෙම මහඟු අවස්ථාවට ICTA සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා ඇතුළු මෙරට නියෝජනය කරන විදේශීය තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් සහභාගී වූහ.

