සියදිවි නසාගැනීම් වළක්වා ගැනීම සම්බන්ධයෙන් ඇතැම් වෘත්තිකයින් සිදුකරන දැනුවත් කිරීම් පවා වර්තමානයේ සීමාව ඉක්මවා යමින්, නොදැනුවත්වම මිනිසුන්ව ඊට පොළඹවන සුලු තත්ත්වයක් නිර්මාණය කරන්නේදැයි සැකයක් මතුවන බව ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා පවසයි.

මාධ්‍ය භාවිතය සහ මානසික සෞඛ්‍යය පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ, මෙවැනි සංවේදී සිදුවීම් වාර්තා කිරීමේදී මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් මීට වඩා අතිශය වගකීම් සහගතව කටයුතු කළ යුතු බවයි.

“සියදිවි නසාගැනීම් උත්කර්ෂයට නැංවීම වහාම නතර කළ යුතුයි”

විශේෂයෙන්ම මෙවැනි ඛේදවාචකයන් මාධ්‍ය මඟින් වීර ක්‍රියා ලෙස හෝ අනිසි ලෙස උලුප්පා දක්වමින් (Glorify කරමින්) වාර්තා කිරීමෙන් වැළකිය යුතු බව චන්දන සූරියබණ්ඩාර මහතා මාධ්‍යවේදීන්ගෙන් දැඩිව ඉල්ලා සිටියි.

“අපට අවශ්‍ය කරන්නේ ප්‍රේක්ෂක ආකර්ෂණය හෝ ‘Breaking News’ පසුපස පමණක්ම දෝලනය වන මාධ්‍ය කලාවක් නෙවෙයි. මනුස්සයෙකුට මනුස්සයෙක් ලෙස සලකන, මානුෂීය ගරුත්වය රකින මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ගොඩනැගිය යුතුයි.” යැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී ශ්‍රී ලංකා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය (NIMH) මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘1926’ මානසික සෞඛ්‍ය උපකාරක සේවාව අගය කළ ඒ මහතා, මානසික පීඩනයෙන් පෙළෙන ජනතාවට එය මහඟු අත්වැලක් බව පෙන්වා දුන්නේය.

එමෙ, ඉදිරියේදී සිදුවන ඕනෑම සංවේදී පුවත් වාර්තාකරණයකදී:

සිදුවීම උත්කර්ෂයට නැංවීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටීමටත්,සෑම පුවතකම අවසානයට, පීඩාවට පත්ව සිටින අයෙකුට සහනයක් ලබාගත හැකි 1926 ක්ෂණික ඇමතුම් අංකය සටහන් කිරීමටත්,පියවර ගන්නා ලෙස චන්දන සූරියබණ්ඩාර මහතා සමස්ත මාධ්‍ය ප්‍රජාවගෙන්ම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියි.

Share.
Leave A Reply