මෙරට පාරිසරික නීති පද්ධතිය මුළුමනින්ම යාවත්කාලීන කෙරෙන “සංශෝධිත ජාතික පාරිසරික පනත් කෙටුම්පත” එළඹෙන ජුනි 24 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන ඡන්ද විමසීමකින් සම්මත කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි පරිසර අමාත්‍යාංශය පවසයි.

පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන්, පරිසර සංවිධාන 20කට අධික සංඛ්‍යාවක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ බව තහවුරු විය. 2025 වසරේදී කැබිනට් අනුමැතිය හිමිවූ මෙම පනත් කෙටුම්පත, 2026 අප්‍රේල් 22 දින ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කෙරුණු අතර, මැයි 06 වැනිදා පළමුවරට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනිණි.

නව සංශෝධන හරහා ක්‍රියාත්මක වන ප්‍රධාන නීතිමය පියවර 5ක්:

පළාත් පාලන ආයතනවලට නීතිමය පියවර: පරිසර විධාන පැහැර හරින නගර සභා/ප්‍රාදේශීය සභාවලට එරෙහිව නීති මඟින් කටයුතු කිරීමට මධ්‍යම පරිසර අධිකාරියට බලය පැවරේ.

ඉහළ මහේස්ත්‍රාත් දඩ: උසාවි නියෝග කඩ කරන ආයතන වෙත ඉහළ දඩ මුදල් පැනවීමට මහේස්ත්‍රාත්වරයාට බලය හිමි වේ.

කර්මාන්ත තාවකාලිකව වැසීම: පාරිසරික බලපත්‍ර (EPL) කොන්දේසි කඩ කරන හෝ කාර්මික අනතුරු වළක්වා ගැනීමට අපොහොසත් වන කර්මාන්තශාලා තාවකාලිකව වසා දැමීමේ ආඥා නිකුත් කෙරේ.

වැරදි EIA වාර්තාවලට දඬුවම්: පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තා සඳහා අසත්‍ය තොරතුරු සපයන සහ අනුමැතියකින් තොරව ව්‍යාපෘති වෙනස් කරන පාර්ශවයන් දඬුවම් ලැබිය හැකි වැරදිකරුවන් බවට පත් කෙරේ.

EPR සහ SEA අනිවාර්ය කිරීම: භාණ්ඩ නිෂ්පාදකයන් වෙත ‘නිෂ්පාදකයාගේ විස්තීරණ වගකීම’ (EPR) පවරන අතර, රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී ‘උපාය මාර්ගික පාරිසරික ඇගයීම්’ (SEA) අනිවාර්ය කෙරේ.

පනත සම්බන්ධයෙන් අධිකරණය හමුවේ මහජන පෙත්සම් ගොනු කිරීම සඳහා දින 14ක කාලයක් වෙන් කර ඇති අතර, ඉදිරි සතිය තුළ මේ පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ විශේෂ ප්‍රචාරක යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත.

Share.
Leave A Reply