ඇමති රංජිත් සියඹලාපිටියට චෝදනා!රජයේ නිසි ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටියෙන් බැහැරව, නීත්‍යානුකූල නොවන ව්‍යාපෘති සිදු කරමින් රුපියල් ලක්ෂ 623කට අධික (රු. 62,340,233.00) රාජ්‍ය මුදල් සාපරාධී ලෙස පරිහරණය කර ඇති බවට ඇමති රංජිත් සියඹලාපිටිය මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මහතා විසින් අද දින (2026.06.12) මෙම පැමිණිල්ල ගොනු කර ඇත. පසුගිය කාලසීමාව තුළ පැවැති “දැයට කිරුළ” ජාතික ප්‍රදර්ශන ව්‍යාපෘතීන් මූලික කරගනිමින් සිදු වී ඇතැයි කියන මෙම මූල්‍ය වංචාවේ දත්ත සාරාංශය මෙසේය
භික්ෂු ස්මාරක ඉදිකිරීම් වංචා: 2013 අම්පාර හාඩි විද්‍යාලයේ පැවති දැයට කිරුළ ප්‍රදර්ශන මුදල්වලින් අරන්තලාව භික්ෂු ස්මාරකය ඉදිකිරීම සඳහා රුපියල් 12,500,000.00ක මුදලක් වංචනිකව ලබා ගැනීම.
අනීතික අපද්‍රව්‍ය කළමනාකරණය: එම ප්‍රදර්ශන භූමියෙන් පිටත ඝන අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් රුපියල් 14,000,000.00ක රජයේ මුදල් අනීතිකව ලබා ගැනීම.
සමරු ඵලක ව්‍යාපෘති: 2012 අනුරාධපුර දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ සමරු ඵලකය ඉදිකිරීම් හරහා රුපියල් 8,226,400.00ක් සාපරාධී ලෙස පරිහරණය කිරීම.
ක්‍රීඩා පිටි වැලි සැපයීම්: අනුරාධපුර ප්‍රදර්ශනයේ බීච් වොලිබෝල් ක්‍රීඩාව සඳහා වැලි සැපයීමේ මුවාවෙන් රුපියල් 2,217,600.00ක මුදලක් අයුතු ලෙස වංචා කිරීම.
වායුසමීකරණ සහ කුටි සැකසුම්: මාධ්‍ය කලාපයේ කුටි වායුසමීකරණය කිරීමේ මුවාවෙන් ඇමතිවරයාගේ සෘජු මැදිහත්වීම මත රුපියල් 9,078,104.00ක් ද , රැස්වීම් ශාලා හා මඩු ඉදිකිරීම් පාඩුව ලෙස රුපියල් 7,708,858.08ක් ද වංචා කර තිබීම.
පෝලිම් බට සැපයීම: ප්‍රදර්ශන භූමියේ පෝලිම් සකස් කිරීම සඳහා බට සැපයීමට පමණක් රුපියල් 8,602,271.87ක අතිවිශාල මහජන මුදලක් වැය කර තිබීම.
මෙම ක්‍රියාවන් හරහා බරපතළ මූල්‍ය දූෂණයක් සිදුව ඇති බව පෙන්වා දෙන පුරවැසි බලය සංවිධානය , මේ පිටුපස සිටින දේශපාලන අධිකාරියට සහ ඊට අනුබල දුන් රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කර, වංචා කරන ලද සමස්ත මහජන මුදලම රජයට නැවත අයකර ගැනීමට කටයුතු කරන ලෙස අල්ලස් කොමිසමෙන් දැඩිව ඉල්ලා සිටියි.

