ශ්‍රී ලංකාවේ වයස අවුරුදු පහට අඩු දරුවන් සහ ගර්භනී මව්වරුන් මුහුණ දී සිටින බරපතළ පෝෂණ සහ සමාජීය අර්බුදය රටේ අනාගතය දැඩි අවදානමකට ලක් කර ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ සහ යුනිසෙෆ් (UNICEF) ආයතනයේ නවතම නිල වාර්තා උපුටා දක්වමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.
ලක්ෂයකට අධික දරුවන් පිරිසක් අඩු බරින් යැයි ද ඔහු කීය.
පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ නවතම දත්තවලට අනුව, මෙරට වයස අවුරුදු පහට අඩු දරුවන් අතරින් 125,622 ක් අත්‍යවශ්‍ය බර නොමැති (අඩුබර) දරුවන් ලෙස හඳුනාගෙන ඇත.
මෙය ප්‍රතිශතයක් ලෙස සමස්ත දරුවන්ගෙන් 15.4% කි. මෙම පෝෂණ ඌණතා තත්ත්වය වැඩි වශයෙන්ම වාර්තා වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර, අම්පාර, යාපනය, මන්නාරම, පොළොන්නරුව, බදුල්ල සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලද මෙම අගය සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමක පවතී.
දරුවන් 42.2% ක් බහුවිධ දිළිඳුකමේ සිරවෙලා
මේ අතර, යුනිසෙෆ් ආයතනය නිකුත් කළ වාර්ෂික වාර්තාව පෙන්වා දෙන්නේ මෙරට වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් 42.2% ක්ම බහුවිධ දිළිඳුකමෙන් (Multidimensional Poverty) පෙළෙන බවයි.
මුදල් හිඟකමට අමතරව, මුල් ළමා විය සංවර්ධනය, අධ්‍යාපනය, සෞඛ්‍යය, සුදුසු ජීවන තත්ත්වය සහ ආදායම් මාර්ග අහිමි වීම වැනි දර්ශක රැසක් මත දරුවන්ගේ එදිනෙදා සමාජ සුභසාධනයට මෙයින් දැඩි බාධා එල්ල වී ඇති බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.
මව්වරුන්ගේ පෝෂණයත් පහළට: රක්තහීනතාවය ඉහළට
රටේ අනාගත පරපුර බිහිකරන ගර්භනී මව්වරුන්ගේ සෞඛ්‍ය තත්ත්වයද මේ වන විට බරපතළ කඩා වැටීමකට ලක්ව ඇත.
මෙම වාර්තාවලට අනුව බියකරරු බවක් ඇති බවද ඔහු කීය.
ගර්භනී මව්වරුන් අතරින් ආසන්න වශයෙන් 38.9% කටම උසට සරිලන නියමිත බර නොමැත.
මව්වරුන්ගෙන් 14% ක්ම රුධිරයේ තිබිය යුතු නියමිත හිමොග්ලොබින් මට්ටම පවත්වා ගැනීමට අපොහොසත් වී ඇති අතර, ඔවුන් දැඩි රක්තහීනතා අවදානමකට මුහුණ පා සිටී.
“මෙය හුදෙක් සංඛ්‍යාලේඛන පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. රටේ උපදින්නට ඉන්නා සහ දැනට සිටින දරුවන්ගේ මොළයේ වර්ධනය සහ සෞඛ්‍යය නැසී යාමේ බරපතළ ඛේදවාචකයක්. වගකිවයුතු බලධාරීන් මේ පිළිබඳව වහාම අවදි වී කඩිනම් සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි.” විශේෂඥ වෛද්‍ය චමල් සංජීව කීය.
පවතින ආර්ථික අපහසුතා හමුවේ රටේ මූලිකම මානව සම්පත මෙලෙස විනාශ වී යාම වැළැක්වීම සඳහා රජය සහ අදාළ බලධාරීන් ක්ෂණික සහ තිරසාර මැදිහත්වීමක් සිදුකිරීම අත්‍යවශ්‍ය බව සමාජ ක්‍රියාකාරීහුද පෙන්වා දෙති.

