‘දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළගැසෙමු’ තේමාව යටතේ 2026 ජගත් පරිසර දින ජාතික සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. කාබන් ශුන්‍ය (Carbon Neutral) වැඩසටහනක් ලෙස සංවිධානය කර තිබූ මෙම උත්සවයේදී, පරිසරය සුරැකීම උදෙසා රජය ගෙන ඇති ප්‍රබල ක්‍රියාමාර්ග රැසක් අනාවරණය කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ, “වනස්පති” වැඩපිළිවෙළ යටතේ පසුගිය වසරක කාලය තුළ පමණක් මෙරට වනාන්තර 86ක් රක්ෂිත බවට පත් කිරීමට රජය සමත්ව ඇති බවයි. ඊට සමගාමීව අද දිනයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ රිටිගල, අලියාවැටුණුවැව, මුලාගල, කෝන්කැටියාව සහ කල්ලංචිය යන වනාන්තර 05 ද රක්ෂිත වනාන්තර ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.
මීට අමතරව, කුඩා බුබුල දිය උල්පත හා කපුරැල්ල උණුදිය තෙත්බිම රක්ෂිත බවට පත් කිරීම, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල අලිමංකඩ 3ක් නිදහස් කිරීම සහ මාගම වැලිකඳු වැටිය ආරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ද මෙහිදී සිදු විය.
පරිසරය රැක ගැනීම සඳහා දැනට පවතින යල්පැන ගිය අණ පනත් සංශෝධනය කිරීමට කටයුතු කරමින් සිටින බවත්, හීලෑ අලි ඇතුන් කළමනාකරණය සඳහා නව ප්‍රතිපත්තියක් සකස් කර පින්නවල අලි අනාථාගාරය අලි අභිජනන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් දක්වා සංවර්ධනය කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

